“ඉතින් ඔයාලගේ පල්ලිය තියෙන්නේ කොහේද?”
මෙම ප්රශ්නය මොසැම්බික්හි සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් නිතර අසනු ලැබේ. ඇත්තෙන්ම කියනවා නම්, මෙය මෑතක් වන තුරුම, උත්තර දීමට අමාරු ප්‍රශ්නයක් විය. එයට හේතුව, 1991 වන තෙක් මෙම රටෙහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූලව පිළිගෙන නොතිබීමයි. එමනිසා, පැහැදිලිව හඳුනාගැනීමට මෙන්ම ස්ථිර ස්ථානවල නමස්කාරයේ යෙදීමට නොහැකි විය.
කෙසේවෙතත්, 1994 පෙබරවාරි 19වනදා එම තත්වය වෙනස් විය. හිරු රශ්මියෙන් නැහැවී ගිය එම දිනයේදී, මොසැම්බික්හි මෙතෙක් ගොඩනඟා තිබෙන මුල්ම රාජ්‍ය ශාලා දෙක කැප කරන ලදි. මොසැම්බික්හි මුහුදු වෙරළ අසලින් දිවෙන මහා මාර්ගයේ, වරාය පිහිටා තිබෙන බෙයිරා නගරය අසල පිහිටි මෙම අලංකාර රැස්වීම් ශාලා දෙක කැප කිරීමට 602ක් පැමිණ සිටියහ. එම නගරයේ පිහිටා තිබෙන සභාවන් තුනෙහි අවශ්‍යතාවන් එම ශාලා දෙක මගින් සපුරාලයි.
අත්තිවාරම දැමීමේ සිට ගොඩනැඟිලි සම්පූර්ණ කිරීම දක්වා වූ මුළු ව්‍යාපෘතියටම වෙහෙසකර වැඩවලින් යුත් අවුරුද්දකුත් මාස දෙකක කාලයක් ගත විය. අසල පිහිටි සිම්බාබ්වෙන්ද ස්වේච්ඡා සේවකයන් 30දෙනෙක් හෝ ඊට වැඩිදෙනෙක් නිතර පැමිණ, එම ප්‍රදේශයේ සහෝදරයන් සමඟ උරෙන් උර ගැටී වැඩ කළහ. ව්‍යාපෘතියේ වැඩ මෙහෙයවනු ලැබූ ප්‍රධාන ස්ථානය වූ බෙයිරාහි මිෂනාරි නිවසේ නවාතැන් ගැනීමට සියලුදෙනාටම නොහැකි වූ නිසා, සමහරු සති අන්තයේ හා ඇතැම් අවස්ථාවලදී සති කිහිපයක්ම එම නිවස අසල කඳවුරු බැඳගෙන සිටියහ.
මාසාම්බ සහ මූනාව් සභාවන් සඳහා ඉදි කළ රාජ්‍ය ශාලාව පිහිටි භූමිය බෙයිරාහි ප්‍රධාන මාර්ගය අසල පිහිටා තිබේ. “කාර්යබහුල දිනයකදී, කාටත් පෙනෙන ආකාරයෙන් වේගයෙන් වැඩ ඉදිරියට ඇදී යන කොට, රියැදුරන් රාජ්‍ය ශාලාව පසු කරගෙන යද්දී, වාහන පදවාගෙන යන එක අමතක කර දමමින් ඔවුන් ඒ දෙස ඕනෑකමින් බලාගෙන වාහන පදවාගෙන ගිය නිසා තව පොඩ්ඩෙන් මාර්ග අනතුරු සිදු වෙන්න තිබුණු අවස්ථා අපි දැක්කා,” යයි එක් මිෂනාරිවරයෙක් අදහස් පළ කළේය. බොහෝදෙනෙකු වැඩ කරනවා බැලීමට නතර වූ අතර, විවිධ ජාතීන්ට අයත් අය එකම ජාතියට අයත් අය මෙන් වැඩ කිරීම, ඔවුන්ගේ සිත්වලට කාවැදුණු විශේෂ දෙයකි.
වැඩය නිම කිරීමට බොහෝ සෙයින් සැලසුම් කිරීම හා සංවිධානය වීම අවශ්‍ය විය. අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍යවල හිඟයක් ඇති වන ලෝකයේ සිදු කරනු ලබන වෙනත් ව්‍යාපෘති මෙන් නොව, මෙම රාජ්‍ය ශාලාවල ඉදි කිරීමේ වැඩ, ද්‍රව්‍ය හිඟවීම නිසා කිසිදා නතර කරනු නොලැබීය. එක් අවස්ථාවකදී, සිමෙන්ති මලු 800ක් අවශ්‍ය වූ අතර, සිමෙන්ති සැපයීමට හැකි වූ එකම ආයතනයට සිමෙන්ති අසුරන්න අවශ්‍ය කරන මලු නොතිබිණ. සහෝදරයෝ මපුටෝහි පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්වූහ; සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත ගුවනින් මලු ප්රවාහණය කරන ලද අතර, අවශ්‍ය සිමෙන්ති ඒවාට පුරවන ලදි. වැඩ අතරමඟ නතර නොවී දිගටම කෙරීගෙන ගියේය.
තවත් අවස්ථාවකදී, වහලේ කාප්ප සවි කරමින් සිටියදී, වානේවලින් සෑදූ බාල්ක මදි විය. වානේවල දැඩි හිඟයක් තිබූ නිසා, ව්‍යාපෘතියට අවශ්‍ය වානේ ගෙනැවිත් තිබුණේ කිලෝමීටර් 600ක් තරම් දුරකින්! වැඩ කරන ආකාරය දෙස බලාගෙන සිටි මිනිසෙකු ළඟට වහල සාදන කණ්ඩායමේ කෙනෙක් ගොස්, වැඩය සම්පූර්ණ කරගැනීම සඳහා වානේ ලබාගත හැකි තැනක් දන්නවාද කියා විමසීය. එම මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය: “මම පැයකටත් වඩා වැඩි වේලාවක් මෙතන හිටගෙන හිටියේ අහම්බෙන් කියලා නං කියන්න බැහැ. මට උදව් වෙන්න බැහැ; නමුත් ඔයාලා කරන වැඩත් මේ ව්‍යාපෘතියේ වැඩ කරන අය තුළ දකින ස්වභාවයත් මම අගය කරනවා. ඔයාලාට අවශ්‍ය වානේ මා ළඟ තියෙනවා, ඒවා තෑග්ගක් හැටියට දෙන්න මම සතුටුයි.” එය ඒ වේලාවට ඉතාමත් අවශ්‍ය වූ දෙයක් විය.
ව්‍යාපෘතිය භාරව සිටින විශාල ඉදි කිරීම් සමාගම කුමක්ද කියා දැනගැනීමට එය දුටු බොහෝදෙනෙක් විමසිලිමත් වූහ. මෙය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ සේවය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ව්‍යාපෘතියක් බව කණ්ඩායමේ අය මහත් සතුටින් ඔවුන්ට පැවසූහ. බලා සිටි අයගේ සිත් විශේෂයෙන්ම ඇදගත්තේ කුමක්ද? “ඔයාලා එක්සත් සෙනඟක්” යයි කෙනෙක් කීවේය. “විවිධ වර්ගයන්ට අයත් අය සිටියත්, ඔයාලා සහෝදරයන් වගේ එකට වැඩ කරනවා.” බොහෝදෙනෙකු බයිබල් පාඩම් ඉල්ලා සිටීම එහි ප්‍රතිඵලය විය. රැස්වීම් කෙරෙහිද එය බලපෑමක් කළේය. උදාහරණයක් හැටියට, මාඥ සභාවේ රැස්වීම්වලට පැමිණීමේ සාමාන්‍යය, සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය.
අලුත් රාජ්‍ය ශාලාවන් ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ට මහත් ආශීර්වාදයක් බව සැබවින්ම ඔප්පු වී තිබේ. මීට කලින් බොහෝදෙනෙකු රැස්වීම් සඳහා එක්රැස් වූයේ, වහලට පිදුරු හෝ තහඩු ටිකක් දමා සදා තිබූ පෞද්ගලික නිවසක තිබූ කුඩා කාමරයක හෝ නිවසේ පිටුපස පිහිටි කුඩා කොටසක වැනි චාම් තැන්වලය. වැසි කාලයේදී බොහෝ අවස්ථාවල ඔවුන්ව තෙමුණේය; එහෙත් ඔවුහු විශ්වාසවන්තව රැස්වීම්වලට පැමිණියහ. දශක ගණනාවක් තිස්සේ මොසැම්බික්හි සාක්ෂිකරුවන් දැන සිටි “රාජ්‍ය ශාලාවන්” මේවාට සීමා විය. මාසාම්බ සභාවේ වැඩිමහල්ලෙක් වන සහෝදර කයිටානූ ගාබ්‍රියෙල් මෙසේ පැවසුවේය: “මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න සම්මාදම් වූ ලොව පුරා සිටින අපගේ සහෝදරයන්ට අපි ස්තුතිවන්ත වෙනවා.” එක් යෞවන සාක්ෂිකරුවෙක් මෙසේ සිහිගැන්වීය: “අපි කාරීකූවල (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව වසර 12කට ආසන්න කාලයක් සිරගත කර තිබූ “පුනරුත්ථාපන කඳවුරුවල”) සිටි කාලයේදී අපි කියන්න පුරුදු වෙලා හිටියේ, ‘අපි දිගටම විශ්වාසවන්තව ඉමු, යෙහෝවඃවහන්සේ අපට ආශීර්වාද කරයි’ කියලයි. අලුත් රාජ්‍ය ශාලාව යෙහෝවඃවහන්සේගෙන් ලැබුණු ආශීර්වාදයක්.” ඔවුන්ගේ හෘදයාංගම අගය කිරීම හා යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීම සඳහා වූ ඔවුන්ගේ අධිෂ්ඨානය ඔවුන්ගේ එම වදන්වලින් ප්‍රකාශ වේ.
ඉදි කිරීමේ වැඩවලට හවුල් වූ යෞවනයන් බොහෝදෙනෙක් පුරෝගාමී ස්වභාවයකින් පූර්ණ වූ අතර, ස්ථාවර පුරෝගාමීන් හැටියට සේවය ඇරඹූහ. මාඥ සභාවේ යෞවන ස්ථාවර පුරෝගාමියක වන ඉසබෙල්, ඉතා පවිත්‍ර වූ රාජ්‍ය ශාලාව කැප කිරීමට කලින් ඒ දෙස බලා මෙසේ කීවාය: “මට නම් බෙයිරාහි තිබෙන අලංකාරම ස්ථානය මෙයයි. මෙහි ඉඳීම මට ලොකු සතුටක්.” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අවංකකම ප්‍රාදේශීය අධිකාරීන් දැන සිටි නිසා, වෙනත් රටවලින් භාණ්ඩ ගෙන ඒමේදී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා පිළිවෙතකට ඔවුන් මහත් සහයෝගයක් දැක්වූ බව මිෂනාරිවරයෙක් වන ආඩඋං කොස්ටා පැහැදිලි කළේය. අනතුරුව ඔහු ඊට මෙසේ එකතු කළේය: “අපට දැඩි වෙහෙසක් දැනුණත්, යෙහෝවඃවහන්සේගේ ගෞරවය හා මහිමය සඳහා කර තිබෙන මෙම සියලුම වැඩවල ප්‍රතිඵල දැකබලාගැනීම ප්‍රීතියක්.”
දැන්, බෙයිරා නගරයේ වෙසෙන මිත්‍රශීලී පදිංචිකරුවෙකු ඇවිත්, “ඉතින් ඔයාලගේ පල්ලිය තියෙන්නේ කොහේද?” කියා අසන ඕනෑම විටක, “ඒක තියෙන්නේ ඉන්ටර්නැෂනල් පාරේ, ආවෙනීඩ ඒකෝර්ඩූ ඩ ලූසාකාවල, හතරවන පොලිස් මූලස්ථානය ඉදිරිපිට,” යනුවෙන් පවසා, අලුත් රාජ්‍ය ශාලාවලින් එකකට යන මාර්ගය පැහැදිලි කරමින් සාක්ෂිකරුවෝ ඔහුට මඟ පෙන්වති. පසුව, තව එක් නිවැරදි කිරීමක් කරයි; එනම්, “එය පල්ලියක් නොවේ. එය රාජ්‍ය ශාලාවක්!”
[20වන පිටුවේ සිතියම⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
අප්‍රිකාව
මොසැම්බික්
බෙයිරා
මපුටෝ
[හිමිකම් විස්තර]
සිතියම: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.