සිව් වසරක යුද්ධය පැවති කාලයේදී සැනසිල්ල
කලින් පැවති යුගොස්ලාවියාවේ සිදු වූ සිව් වසරක යුද්ධයේදී මිනිසුන් බොහෝදෙනෙක් දුෂ්කරතා හා දරුණු හිඟයන් නිසා පීඩා වින්දෝය. ‘සෑම සැනසිල්ලේ දෙවියන්වහන්සේට’ විශ්වාසවන්තව දිගටම නමස්කාර කළාවූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියගණනක්ද ඔවුන් අතර වූහ.—2 කොරින්ති 1:3.
සරයේවෝහි ජනයා, යුද්ධය පැවති කාලය පුරා වටලාගෙන සිටි නගරයක ජීවත්වීමේ අමතර දුෂ්කරතාවලින් පීඩා වින්දෝය. විදුලිය, ජලය, දර හා ආහාර හිඟ විය. මෙම දරුණු පීඩාකාරි තත්වයන් යටතේ සරයේවෝහි සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ක්‍රියා කළේ කෙසේද? අසල්වැසි රටවල විසූ ක්‍රිස්තියානීහු, විශාල සහනාධාර තොගයක් රැගෙන යෑමට තම ජීවිත පරදුවට තැබූහ. (වර්ෂ 1994 නොවැම්බර් 1, මුරටැඹ සඟරාවේ 23-7 දක්වා පිටු බලන්න.) සරයේවෝහි සිටි සහෝදරයෝද ආත්මික දේවල් බෙදාගැනීම ගැන මූලික අවධානය යොමු කරමින්, තමන් සතුව තිබූ දේවල් එකිනෙකා අතර බෙදාගත්හ. වටලාගෙන සිටි කාලයේදී, එම නගරයේ විසූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුගෙන් මතු දැක්වෙන වාර්තාව ලැබිණ:
“අපගේ රැස්වීම් අපි ඉතා අගය කොට සලකනවා. මගේ බිරිඳත් මමත්, තවත් 30දෙනෙක් සමඟ රැස්වීම්වලට යන්නයි එන්නයි කිලෝමීටර 15ක් [සැතපුම් 9ක්] දුර ඇවිදිනවා. සමහර අවස්ථාවලදී, රැස්වීම් පවත්වන වේලාවේදී වතුර සපයන බව නිවේදනය කරනු ලබනවා. සහෝදරයන් කුමක් කරයිද? ඔවුන් නිවෙස්වල රැඳී සිටියිද නැත්නම් රැස්වීම්වලට යයිද? අපගේ සහෝදරයෝ වැඩි කැමැත්තක් දැක්වූයේ රැස්වීම්වලට යන්නයි. හැමවිටම සහෝදරයෝ එකිනෙකාට උපකාර කළා; ඔවුන්ට තිබෙන දෙය කුමක් වුණත් ඔවුන් ඒවා බෙදාගන්නවා. අපගේ සභාවේ සහෝදරියක් නගරයෙන් ටිකක් ඈත, වනාන්තරයක් අසල ජීවත් වෙනවා; එනිසා ඈට දර සොයාගැනීම ටිකක් පහසුයි. ඈ බේකරියක වැඩ කරන අතර, වැටුප වෙනුවට ඈට ලැබෙන්නේ පිටියි. ඈ හැකි වේලාවන්වලදී, විශාල පාන් ගෙඩියක් පුළුස්සා ගෙන රැස්වීමට අරගෙන එනවා. රැස්වීමෙන් පසු, ඈ ආපසු යන විට, සෑම කෙනෙකුටම පාන් කෑල්ලක් දෙනවා.
“වැදගත් දෙය වන්නේ, සහෝදර සහෝදරියන්ගෙන් කිසිවෙකුට තමන්ව නොසලකා හැර තිබෙන බව කවදාවත් හැඟී නොයෑමයි. අහිතකර තත්වයකදී, ඊළඟට උපකාරය අවශ්‍ය වන්නේ කාටද කියා අපගෙන් කිසිවෙකු දන්නේ නැහැ. පාරවල් හිමෙන් වැසී තිබූ කාලයකදී, අසනීප වී සිටි සහෝදරියක්ව රැස්වීම්වලට රැගෙන යෑම සඳහා, හිම මතුපිට ගමන් කිරීමට සාදා තිබූ රථයකට නංවාගෙන, ශක්තිමත් සහෝදරයන් විසින් එම රථය ඇදගෙන ගියා.
“අප සියලුදෙනාම දේශනා වැඩයෙහි හවුල් වූ අතර, යෙහෝවඃවහන්සේ අපගේ වෑයමට ආශීර්වාද කර තිබෙනවා. බොස්නියාවේ අප සිටින භයානක තත්වය උන්වහන්සේ දැක්කත්, අපට වර්ධනයක්—එනම් යුද්ධයට කලින් නොදුටු වර්ධනයක් සමඟින් ආශීර්වාද කර තිබෙනවා.”
ඒ හා සමානව, කලින් යුගොස්ලාවියාවේ පිහිටි යුද්ධයෙන් දෙදරා ගිය වෙනත් ප්රදේශවලද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දුෂ්කරතා මධ්‍යයෙහි වර්ධනයන් අද්දැක ඇත්තාහ. සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමක් ගැන ක්‍රොඒෂියාවේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයෙන් මෙසේ වාර්තා වේ: “වෙලිකා ක්ලාඩුෂාවෙහි ජීවත් වන සහෝදරයන්ට ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ ජීවත්වීමට සිදු වුණා. අවස්ථා කිහිපයකදී නගරයට පහර දෙනු ලැබුවා. ක්‍රොඒෂියානු, සර්බියානු හා විවිධාකාර මුස්ලිම් හමුදාවන්ට තමන්ගේ මධ්‍යස්ථභාවය ගැන පැහැදිලි කිරීමට සහෝදරයන්ට සිදු වුණා. ඇත්තවශයෙන්ම, ඔවුන්ට බොහෝ සිරගත වීම්, පහර දීම්, කුසගින්න හා මරණාසන්න තත්වයන් විඳදරාගැනීමට සිදු වුණා. කෙසේවෙතත්, ඔවුන් සියලුදෙනාම විශ්වාසවන්තව සිටි අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලදී යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය දැකබලා ගැනීමේ විශිෂ්ට වරප්‍රසාදය භුක්තිවිඳීමට හැකි වුණා.”
මෙම දුෂ්කරතා මධ්‍යයෙහි, වෙලිකා ක්ලාඩුෂාවේ සහ අසල්වැසි බීහාච් නගරයේ වෙසෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, තම අසල්වැසියන් සමඟ දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන පණිවිඩය ජ්වලිතව දේශනා කරමින් දිගටම වර්ධනයන් අද්දකිති. මෙම ප්‍රදේශ දෙකෙහි සිටින රාජ්‍ය ප්‍රචාරකයන් 26දෙනෙක් නිවාස බයිබල් පාඩම් 39ක් පවත්වති!