ජලගැල්ම පිළිබඳ ප්‍රබන්ධ කථාව බයිබල් වාර්තාවට අනුබලයකි
නෝවාගේ දවස්වල සිදු වූ ලෝක ව්‍යාප්ත ජලගැල්ම ඓතිහාසික සත්‍යතාවකි. ලොව වටා විවිධ ශිෂ්ටාචාර බොහොමයක, එම වාර්තාවට සමානව ගොතන ලද කතන්දර සොයාගැනීමට තිබේ. අප්‍රිකාවේ චැඩ් නමැති රටේ ජීවත් වන මුසාඊ ගෝත්‍රය, ජලගැල්ම විස්තර කරන්නේ මෙලෙසය:
‘එකමත් එක රටක, හුඟාක් ඈත පළාතක පවුලක් ජීවත් වුණා. දවසක්, මේ පවුලේ අම්මාට එයාගේ පවුලේ අයට හුඟාක් රස කෑම වේලක් හදලා දෙන්න ඕනෙ වුණා. ඉතිං මේ අම්මා ධාන්‍ය කොටලා පිටි කරන්න එයාගේ වංගෙඩියයි මෝල්ගහයි අරගත්තා. ඒ කාලයේදී, අහස තිබුණේ අද තියෙනවාට වඩා හුඟක් ළඟින්. ඇත්තටම කියනවා නම්, ඔයා ඔයාගේ අත ඉස්සුවා නම්, ඒක අල්ලන්න පුළුවන්. ඇය තමාගේ මුළු ශක්තියෙන්ම ධාන්‍ය කෙටුවා; ඇය කොටපු මෙනේරි ඉක්මනින්ම පිටි වුණා. හැබැයි ඇය කොටමින් ඉද්දී, නොසැලකිලිමත් විදිහට මෝල්ගහ වැඩියෙන් උස්සපු නිසා, අහසේ හිලක් හැදුණා. ඒ මොහොතේම, පොළොවට ජල කන්දරාවක් කඩාහැලෙන්න පටන්ගත්තා. ඒක සාමාන්‍ය වැස්සක් නෙවෙයි. මුළු පොළොවම වතුරෙන් පිරිලා යන කල්ම, දවල් හතකුත් රෑ හතකුත් වැස්සා. වැස්ස කඩාවැටෙද්දී, ළං වෙන්න බැරි තරම් උසකට, අද අහස තිබෙන තැනටම යන කල් ටිකෙන් ටික ඉස්සෙන්න පටන්ගත්තා. මිනිස්සුන්ට මේක මොනතරම් විපත්තියක්ද! එදා ඉඳලා, අපේ අත්වලින් අහස අල්ලන්න තිබුණු වටිනා අවස්ථාව අපිට නැති වෙලා ගිහින් තියෙනවා.’
ලෝක ව්‍යාප්ත ජලගැල්මක් ගැන පවසන ඉපැරණි වාර්තා ලොව පුරා දක්නට ලැබීම සිත්ගන්නා කරුණකි. අමෙරිකාවේ මුල් ශිෂ්ටාචාරවල වැසියන්ට මෙන්ම ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට මේ සම්බන්ධයෙන් කතන්දර තිබේ. විස්තර වෙනස් විය හැකි වුවත්, පොළොව ජලයෙන් වැසීගිය බවටත්, මනුෂ්‍යයෙකු විසින් සාදන ලද නැවක මනුෂ්‍යයන් කිහිපදෙනෙකු පමණක් ආරක්ෂා වුණු බවටත් වූ අදහස, වාර්තා බොහොමයක අඩංගු වේ. මෙම තේමාව විශාල ලෙස පැතිර පැවතීම, බයිබලයෙහි වාර්තා කර ඇති පරිදි ලෝක ව්‍යාප්ත ජලගැල්මක් සිදු වූ බවට අනුබලයකි.—උත්පත්ති 7:11-20.