කලින් සිටි විනිසුරු සමාව අයදී—වසර 45කට පසු
වර්ෂ 1995 අගෝස්තු මාසයේදී, බර්ලින්හි එක් උසාවි කාමරයක, කලින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් තමා වසර 45කට පෙර කළ වරදක් සඳහා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකුට තම බලවත් කනගාටුව ප්‍රකාශ කළේය.
වර්ෂ 1950 ඔක්තෝබර් මාසයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් නවදෙනෙකු, ආණ්ඩු විරෝධී කැළඹීම සහ චරපුරුෂ සේවය සම්බන්ධයෙන් වරදකරුවන් බව ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ (ජප්රස) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියේය. දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරඅඩස්සියේ සිටීමටත්, ඡායාරූපයේ දකුණු පැත්තේ සිට සිව්වන විත්තිකරු වන වයස අවුරුදු 22ක්ව සිටි ලෝටාර් හර්නිච් ඇතුළු අනිකුත් හත්දෙනාට දීර්ඝ කාලීන සිරදඬුවමත් නියම කරන ලදි.
වසර 40කට පසු, ජප්රස ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් විය. එවක් පටන් කලින් තිබූ ජප්රස මගින් සිදු කරන ලද සමහරක් අයුක්තීන් ගැන නිලධාරීන් පරීක්ෂණ පවත්වා ඇති අතර, එයට වගකිවයුත්තන්ට යුක්තිය ඉටු කිරීමට ඔවුහු වෑයම් කර ඇත්තාහ. එවන් එක් අයුක්තියක් වූයේ, 1950දී සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයයි.
දැන් 80 හැවිරිදි ආල්ෆ්රෙයිට් ට්රාප්, සාක්ෂිකරුවන් නවදෙනාව නඩු විභාගය සඳහා ගෙනෙනු ලැබූ විට විනිශ්චය දුන් විනිසුරුවන් තිදෙනාගෙන් කෙනෙකි. යුක්තිය විකෘති කිරීම ගැන දැන් චූදිත ඔහු, සිය විධිතීරණය ගැන පැහැදිලි කිරීමට බර්ලිනයේ ප්‍රාන්ත අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
වසර 45කට පෙර, සුළු දඬුවම් නියම කිරීමට වැඩි කැමැත්තක් දක්වා තිබුණත්, තමන් වැරදි තීරණයක් සඳහා ඡන්දය දුන් බවට කලින් විනිසුරු අධිකරණයට දුන් තම ප්‍රකාශයේ පිළිගෙන ඇත. එහෙත් මෙම නඩුව ඔහුට නැවතත් කල්පනා කිරීමට සලස්වා තිබිණ. මන්ද? දෙවන ලෝක යුද්ධයේදී, නාට්සින් විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා කරන ලද්දේ හිට්ලර්ට අනුබල දීමට ප්‍රතික්ෂේප කළ බැවිනි. යුද්ධයෙන් පසු, නැවතත්, මේ වතාවේදී කොමියුනිස්ට් පාලන ක්‍රමය මගින් සාක්ෂිකරුවන්ට පීඩා කරන ලදි. මෙය ට්රාප්ව “මහත් කනස්සල්ලට පත්වීමට” සැලැස්වීය.
තමා එකලාව සිරඅඩස්සියේ වසර පහමාරක් ගත කළ බවත්, 1959 වන තෙක් බ්‍රැන්ඩන්බර්ග් සිරගෙයින් තමාව නිදහස් නොකළ බවත්, ලෝටාර් හර්නිච් අධිකරණය ඉදිරියේ කියා සිටියේය. හර්නිච් පැවසූ දේ අසාගෙන සිටි, කලින් විනිසුරු කඳුළු සලන්ට විය. “මට හරිම කනගාටුයි,” කියා ඔහු ඉකිබින්දේය. “කරුණාකර මට සමාව දෙන්න.” හර්නිච් සමාව දුන්නේය.—ලූක් 23:34, සසඳන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Neue Berliner Illustrierte