රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“ඔබගේ සියලු ආඥා සත්‍යයය”
මෝසෙස් තම මරණයට කෙටි කලකට පෙර, යෙහෝවඃවහන්සේගේ ආඥා සෑම එකකටම කීකරු වන ලෙස ඉශ්රායෙල් සෙනඟගෙන් උදක්ම ඉල්ලා සිටියේය. ඔහු මෙසේ පැවසීය: “මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් යොමුකරපල්ලා. මක්නිසාද මේක නුඹලාට නිෂ්ඵල දෙයක් නොව නුඹලාගේ ජීවනයව තිබේ.”—ද්විතීය කථාව 32:46, 47.
වසර සිය ගණනකට පසුව, ගීතිකාකරු පහත සඳහන පැවසූ විට, දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් සියල්ලේම වැදගත්කම ඔහු විශේෂ කොට දැක්වීය: “ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.” (ගීතාවලිය 119:151) පළමු ශතවර්ෂයේදී, ‘දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවල’ වටිනාකම වෙත යේසුස්වහන්සේම යොමු දැක්වූසේක. (මතෙව් 4:4) එමෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, ප්‍රේරිත පාවුල් “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්” බව ලීවේය.—2 තිමෝති 3:16.
ස්වකීය වචනයේ පිටු තුළින් අපට ගම්‍ය වන මුළු පණිවුඩයම තම නමස්කාරකයන් බැරෑරුම් ලෙස සැලකීම යෙහෝවඃ දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන බව පැහැදිලිය. බයිබලයේ වටිනාකමින් අඩු එක් කොටසක්වත් නොමැත. දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ එලෙසය, මුරුසියෙන් ලැබූ පහත සඳහන් අද්දැකීමෙන් මෙය පැහැදිලි වේ.
ඩී—— මහතා දුරස්තර ගමක රාත්‍රී මුර සේවය කරමින් ජීවත් වූයේය. බොහෝ කලක සිට ඔහු දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු නිවැරදි මාර්ගය ඉතා ඕනෑකමින් සොයමින් සිටියේය. රාත්‍රියේ මුර සේවයේ යෙදෙන අතරතුර, ඔහු බයිබලය කියවීමට ආරම්භ කළේය. කාලයත් සමඟම ඔහු බයිබලය මුල සිට අග දක්වා කියෙව්වේය. දෙවියන්වහන්සේගේ නම යෙහෝවා බව ඔහු දැනගත්තේය—එය ඔහුගේ හින්දි බයිබලයේ බොහෝ වර දක්නට ලැබෙන නමකි. එළිදරව් පොත විශේෂයෙන්ම කුතුහලය දනවන එකක් බව ඔහුට හැඟිණ.
බයිබලය මුළුමනින්ම අනුගමනය කරන ආගමක් තිබේදැයි ඔහු තමාගෙන්ම අසාගත්තේය. ඔහුට හොඳින් හුරුපුරුදු ආගම් උපරිම වශයෙන් අනුගමනය කළේ, හුදෙක් බයිබලයේ යම් කොටස් පමණක් බව ඔහු සැලකිල්ලට ගත්තේය. සමහර ආගම් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පිළිගත් අතර, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ප්‍රතික්ෂේප කළේය. වෙනත් ආගම් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලට පමණක් ප්‍රායෝගික වටිනාකම පවරමින්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි නොසලකා හැරියේය.
දිනක් ඩී—— මහතා යුවළක් වැස්සේ තෙමෙනවා දැක, ඔවුන්ව තම නිවසට ආරාධනා කළේය. ඔවුහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයෝ වූහ. බිරිඳ එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය!a නමැති පොත අතැතිව සිටියාය. ඩී—— මහතා වහාම ඔවුන්ගෙන් පොත ඉල්ලා සිටියේය. එළිදරව්වේ අනාවැකිය මත පදනම් කරුණු ඔහුට ඉතා ගැඹුරු බව සිතූ සාක්ෂිකරුවෝ, ඒ වෙනුවට වෙනත් ප්රකාශනයක් ඉදිරිපත් කළහ. එහෙත් ඩී—— මහතා එළිදරව් පොත ලබාගැනීමට උදක්ම ඉල්ලා සිටියේය.
ඔහුගේ පිටපත ලැබුණු විගස ඔහු එය කියවා නිම කළේය. අනතුරුව ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට කැමති වූයේය. සාක්ෂිකරුවන් මුළු බයිබලයම ඉතා උසස් කොට සලකන බවට වූ සාධකය වෙත ඉක්මනින්ම ඔහුගේ සිත ඇදී ගියේය. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි සහ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පරෙස්සමින් අධ්‍යයනය කරනු ලබන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට නිතිපතා පැමිණීමට ඔහු පටන්ගත්තේය. ඔහු දැන් රාජ්‍ය ප්‍රචාරකයෙකු මෙන්ම ක්‍රිස්තියානි සභාවේ බව්තීස්ම ලත් සාමාජිකයෙකි.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්රකාශිතය.