ඔවුන් තම ශක්තිය ලබන්නේ කොතැනින්ද?
මෙම ඡායාරූපයේ සිටින සමනලයා දෙස සමීපව බැලුවහොත්, උගේ තටු හතරෙන් එකක් මුළුමනින්ම කිසිසේත් ප්‍රයෝජනවත් නොවන බව ඔබ දකිනු ඇත. එසේවුවත්, සමනලයා නොකඩවා පෝෂණය ලබමින් පියඹයි. මෙය හුදෙක් එක් සිදුවීමක් නොවේ. සමනලුන් උන්ගේ තටුවලින් සියයට 70ක්ම නොමැතිව දෛනික ක්‍රියාවල යෙදීම නිරීක්ෂණය කර තිබේ.
ඒ හා සමානව, බොහෝ මනුෂ්‍යයෝද අධිෂ්ඨානපූර්වක ස්වභාවයක් විදහාපෙන්වති. බරපතළ ශාරීරික හෝ චිත්තවේගීය ගැටලුවලින් පීඩා වින්දත්, ඔවුන් අත්හරින්නේ නැත.—2 කොරින්ති 4:16, සසඳන්න.
ප්‍රේරිත පාවුල්, තම මිෂනාරි ගමන්වල යෙදී සිටි කාලය අතරතුර පෞද්ගලිකව මහත් දුෂ්කරතා විඳදරාගත්තේය. ඔහු කස පහරවල්, තැළීම්, ගල් ගැසීම් සහ සිරබාරයේ සිටීම් යනාදියට මුහුණ දුන්නේය. ඊට අමතරව, ඔහු යම් ආකාරයක දුර්වලතාවකින් පීඩා වින්දේය, සමහරවිට එය ඔහුට නිරන්තර ‘මාංසයේ උලක්’ වූ තමාගේ ඇස්වල දෝෂයක් විය හැක.—2 කොරින්ති 12:7-9; ගලාති 4:15.
වසර කිහිපයකට බලවත් විෂාදය සමඟ කිහිප වතාවක් පොර බැදූ ඩේවිඩ් නමැති ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, තමාගේ සුවය සඳහා යෙහෝවඃවහන්සේගේ ශක්තිය ඉතාමත් වැදගත් වූ බව විශ්වාස කරයි. “කලින් කලට, බොහොම අමාරුවෙන් ලැබූ ප්‍රගතිය විනාශ වී යන්නාක් මෙන් පෙණුනා,” යයි ඔහු පැහැදිලි කරයි. “එවන් අධෛර්යවීම් හමුවේ මම සම්පූර්ණයෙන්ම යෙහෝවඃවහන්සේ මත රඳා සිටියා, උන්වහන්සේ ඇත්තටම මාව ඉසුලුවා. මම වරකට පැය ගණනාවක් එකදිගට යාච්ඤා කළ අවස්ථාද තිබුණා. මම යෙහෝවඃවහන්සේ සමඟ කතා කළාම, තනිකමේ සහ නිෂ්ඵලභාවයේ හැඟීම් නැති වෙලා ගියා. දැඩි දුර්වලතාවලින් යුත් කාලපරිච්ඡේද සමඟ මම පොරබැද්දා, නමුත් යෙහෝවඃවහන්සේට ස්තුති වන්න, මෙම දුර්වලතා තුළින්—අන් අයට උපකාර කිරීමට පවා—මට ශක්තිය ලැබී තිබෙනවා.”
යෙහෝවඃ දෙවියන්වහන්සේ පාවුල්ව ශක්තිමත් කළසේක. එබැවින් ඔහුට මෙසේ පැවසීමට හැකි විය: “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:10) එසේය, පාවුල්ගේ දුර්වලකම් ඔහුට දෙවියන්වහන්සේගෙන් ලද ශක්තිය මත රඳා සිටීමට ඉගැන්වූයේය. “මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන,” යනුවෙන් ප්‍රේරිතයා පැවසුවේය. (පිලිප්පි 4:13) යෙහෝවඃවහන්සේ නිසැකවම තම සේවකයන්ට බලය දානය කරනසේක.