දෙවියන්වහන්සේ, රජය හා ඔබ
“දික්කසාදය සම්බන්ධ ජන මත විචාරණයකදී, අයර්ලන්තයේ පල්ලිය හා රජය ඝට්ටනයක”
ද නිව් යෝර්ක් ටයිම්ස්හි පළ වූ මෙම ශීර්ෂ පාඨයෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, අදදින මනුෂ්‍යයාහට, රජයට තමන්ගෙන් අවශ්‍ය කරන දේ හා තම පල්ලි මගින් උගන්වනු ලබන දේ අතර තෝරාගැනීමකට මුහුණ දීමට සිදු විය හැකි අයුරුය.
එම ලිපියේ මෙසේ සඳහන් කර තිබිණ: “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දික්කසාදය මත පැනවූ තහනම අවලංගු කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයකට මසකට වඩා අඩු කලකට පෙර, රෝමානු කතෝලිකයන්ගෙන් පිරුණු අයර්ලන්තය එහි ආණ්ඩුව හා පල්ලි නායකයන් අතර විරල ඝට්ටනයක් අද්දකියි.” දික්කසාදය මත පැනවූ තහනම ඉවත් කිරීමට රජය යෝජනා කළ මුත්, කතෝලික පල්ලි දික්කසාදයට හා නැවත විවාහයට එරෙහිව තදින්ම විරෝධය පාති. අයර්ලන්ත කතෝලිකයන්ට පල්ලිය හා රජය අතර තේරීමක් කරන්ට සිදු විය. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන්, රජය ඉතා සුළු ප්‍රමාණයකින් ජය ලැබුවේය.
උතුරු අයර්ලන්තයේ මනුෂ්‍යයන්, වසර ගණනාවකට ජාතික ස්වෛරීභාවය වෙනුවෙන් දරුණු සටනකට මුහුණ දීමට සිදු වී තිබීම වඩාත් කම්පිත කරවන්නකි. බොහෝදෙනෙකු මරුමුවට පත් වී ඇත. කුමන රජයට යටත් විය යුතුද යන්න නිශ්චය කරගැනීම සඳහා රෝමානු කතෝලිකයන් හා රෙපරමාදුවන් අතරෙහි ප්‍රතිවිරුද්ධ අදහස් ඉස්මතු වී ඇත: උතුරු අයර්ලන්තයේ දිගටම පැවති බ්‍රිතාන්‍ය පාලනයටද, එසේ නැතහොත් මුළු අයර්ලන්තයටම තිබූ ප්‍රධාන ආණ්ඩුවටද?
එයාකාරයෙන්ම, කලින් යුගොස්ලාවියාව වූ ප්‍රදේශයේ පාලන අධිකාරීන්, කතෝලික හා ඔර්තඩොක්ස් ඇතුළු විවිධ ඇදහිලිවලට අයත් වූ සාමාජිකයන්ගෙන් අවශ්‍ය කර තිබෙන්නේ බලප්‍රදේශයක් වෙනුවෙන් සටන් කිරීමය. සාමාන්‍ය පුරවැසියන්ට තම පළමු වගකීම තිබුණේ කවුරුන් සඳහාද? ඔවුන් අනුගමනය කළ යුතුව තිබුණේ රජය නියෝජනය කරන බවට කියා සිටි අයවද, එසේ නැතහොත් “මිනී නොමරව, . . . නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව,” යනුවෙන් ප්‍රකාශ කරන දෙවියන්වහන්සේවද?—රෝම 13:9.
මෙවැනි තත්වයක් කිසි දිනක ඔබට බලපාන්නේ නැති බව ඔබ සිතිය හැක. එහෙත් එසේ විය හැකිය. ඇත්තවශයෙන්ම, එය දැන් පවා ඔබට බලපෑ හැක. “බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඒකාධිපති ආණ්ඩු මගින් තර්ජනය කරනු ලබන විට, නවීන දින ක්‍රිස්තියානීන්ට ජීවිතය හා මරණය තරම් වැදගත් කාරණා ගැන තීරණ ගැනීමට සිදු වේ, එසේ නැතහොත් එලෙස කිරීම සඳහා කැඳවනු ලැබිය හැකි” බව, දේවධර්මාචාර්යවරයෙකු වන ඔස්කාර් කුල්මාන්, ද ස්ටේට් ඉන් ද නිව් ටෙස්ටමන්ට් නමැති සිය පොතෙහි ප්‍රකාශ කරයි. කෙසේවෙතත්, “තමා ක්‍රිස්තියානිවරයෙකු වන හේතුව නිසාම, තමාට මුහුණ දීමට හා පිළිතුරු දීමට සිදු වන බරපතළ ගැටලුවක් පිළිබඳව සෑම ක්‍රිස්තියානිවරයෙකුටම ඇති එක සමාන හා වැදගත් වගකීම සම්බන්ධයෙන්ද, ‘සාමාන්‍ය,’ ‘දෛනික’ තත්වයන් යටතේ ජීවත් වන බවට සලකනු ලබන ක්‍රිස්තියානි ජීවිතය සම්බන්ධයෙන්ද,” ඔහු කතා කරයි.
එබැවින් ආගම හා රජය අතර පවතින සබඳතාව අදදින ක්‍රිස්තියානීන්ගේ උනන්දුවට භාජන විය යුතුද? එය සැබවින්ම එසේ කළ යුතුය. මුල් කාලවල පටන්, ලෞකික අධිකාරීන් සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් වර්ධනය කරගැනීමට ක්‍රිස්තියානීන් වෑයම් කර තිබේ. ඔවුන්ගේ නායකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, රෝමානු රජය මගින් විනිශ්චය කර, හෙළා දැක, මරණයටද පත් කරනු ලැබීය. උන්වහන්සේගේ ගෝලයන්ට රෝම අධිරාජ්‍යය වෙත තිබෙන තම වගකීම්, තම ක්‍රිස්තියානි බැඳීම් සමඟ එකඟ කරගැනීමට සිදු විය. එබැවින්, අධිකාරීන් සමඟ තිබූ ඔවුන්ගේ සබඳතාව සම්බන්ධයෙන් පුනරීක්ෂණය කිරීමෙන්, අදදින ක්‍රිස්තියානීන්ට මාර්ගෝපදේශ ලැබෙනු ඇත.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Tom Haley/Sipa Press