රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දේවවචනය සතු වෙනස් කිරීමේ බලය
ඔහුම පිළිගත් පරිදි ඔහු “අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව” සිටියේය. (1 තිමෝති 1:13) නමුත් ඔහු වෙනස් විය! ප්‍රේරිත පාවුල්ගේ වෙනස් වීම කෙතරම් ප්‍රබල වූයේද යත්, පසුව ඔහුට මෙසේ ප්‍රකාශ කිරීමට හැකි විය: “මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගනිල්ලා.”—1 කොරින්ති 11:1.
අදදින, මුළු ලොව පුරා සිය දහස් ගණන් අවංක නමස්කාරකයෝ ඒ හා සමාන වෙනස්කම් සිදු කරමින් සිටිත්. ඔවුන්ට එසේ කිරීමට හැකි කරවන්නේ කුමක්ද? ඔවුහු දේවවචනයෙන් වූ දැනුම ලැබ එය තම ජීවිතවලට අදාළ කරමින් සිටිති. දේවවචනය සතු වෙනස් කිරීමේ බලය මතු සඳහන් වන අද්දැකීම හුවා දක්වයි.
ස්ලෝවේනියාවේ මහලු යුවළක් ගමින් පිටත තනිව ජීවත් වූහ. පුරුෂයා වන යොසේගේ වයස අවුරුදු 60ක් පමණ වූ අතර, මත්පැන්වලට ඇබ්බැහි වීමේ බරපතළ ගැටලුවක් ඔහුට තිබිණ. ඒ කෙසේවෙතත්, ඔහු තම රෝගී බිරිඳ වන ලයුඩ්මෙලාව රැකබලා ගත්තේය. එක් දිනක් රාජ්‍ය ප්‍රචාරකයන් දෙදෙනෙක් යොසේ හමුවීමට පැමිණියහ. ඔහු එම සාක්ෂිකරුවන්ව තම නිවසට ආරාධනා කළ අතර, එහිදී ඔහුගේ බිරිඳවද ඔවුන්ට හමු විය. රාජ්‍ය පණිවුඩය ඇසීමෙන් අනතුරුව, ලයුඩ්මෙලාගේ දෙනෙතින් තුටු කඳුළු වැගිරිණ. යොසේද තමාට අසන්ට ලැබූ දෙයින් සතුටක් ලැබූ අතර, බොහෝ ප්‍රශ්නද ඇසුවේය. බයිබල් පොත් පත් සමහරක් යුවළ සමඟ තැබීමෙන් පසු, සාක්ෂිකරුවෝ පිටත් වූහ.
සාක්ෂිකරුවන්ට මසකට පමණ පසුව නැවත පැමිණීමට හැකි වූ අතර, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත මේසය මත තිබෙනවා ඔවුහු දුටූහ. ඔහුට එය ලැබුණේ කොහෙන්ද කියා අසනු ලැබූ විට, ඔහු මෙසේ පැවසුවේය: “ඔබ මා සමඟ තබා ගිය සඟරාවක අන්තිම පිටුවේ දැන්වීමක් මම දැක්කා. ඉතින් මම සාග්‍රෙබ්හි පිහිටි ඔබලාගේ කාර්යාලයට ලියා එම පොත ඉල්ලුම් කළා.” ඔහුගේ උනන්දුව නිසා, රාජ්‍ය ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණීමට ඔහුට ආරාධනා කෙරිණ. ඔහුගේ පැමිණීම සාක්ෂිකරුවන්ගේ සන්තෝෂයට හේතුවක් විය!
විගසින්ම බයිබල් පාඩමක් ආරම්භ කෙරිණ, තවද හොඳ ප්‍රගතියක්ද ඇති විය. එක් උදාහරණයකට, යොසේට “කැපූ රූපයක් හෝ . . . නමස්කාර නොකරව, සේවය නොකරව,” යනුවෙන් බයිබලයෙන් පෙන්වූ විට, ඔහු පින්තූර ඇතුළු නිවසෙහි තිබූ සියලුම ආගමික ප්‍රතිමා අප්‍රමාදව එකතු කර, විසි කර දැමුවේය.—නික්මයාම 20:4, 5.
ආත්මික සත්‍යය සඳහා වූ යොසේගේ පිපාසය සංසිඳුවමින් තිබිණ. එසේ වුවත්, අභාග්‍යයකට, ඔහුට තවත් පිපාසයක් තිබිණ. වසර 18ක පමණ කාලයකට, ඔහු සෑම දිනකම වයින් ලීටර 10ක් පමණ පානය කර තිබිණ. මත්පැන් ගැනීමේ ගැටලුව නිසා, ඔහු තම පෞද්ගලික පෙනුමට එතරම් අවධානයක් යොමු කළේ නැත. එහෙත් මත්පැන් අනිසි භාවිතය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය ඉගෙනීමෙන් පසු, ඔහු වෙනස් වීමට අදිටන් කරගත්තේය.
දිනකට කෙතරම් ප්‍රමාණයක් පානය කළේදැයි වාර්තාවක් තබාගනිමින්, ඔහු ක්‍රම ක්‍රමයෙන් බීමත්කමේ ගැටලුවෙන් ගොඩ ඒමට උත්සාහ කළේය. වැඩිකල් යන්ට මත්තෙන් ඔහු තවදුරටත් මත්පැනට වහල්ව නොසිටියේය. බයිබලය පාඩම් කරගෙන යන අතරතුරේදී, සැබෑ ක්‍රිස්තියානීන් හොඳ පෞද්ගලික ස්වස්ථතා පුරුදු පවත්වාගැනීමට අවශ්‍ය බවද ඔහු ඉගෙනගත්තේය. මෙනිසා, ඔහු සාක්ෂිකරුවන්ට මුදල් දී මෙසේ පැවසීය: “හොඳයි, ක්‍රිස්තියානි රැස්වීම්වල සහ ක්ෂේත්‍ර සේවයේ මා යෝග්‍ය අයුරින් පෙනී සිටීමට අවශ්‍ය සියලුම ඇඳුම් ගොස් මිල දී ගන්න!” යට ඇඳුම්, මේස්, සපත්තු, කමිස, ඇඳුම් කට්ටල, කරපටි සහ බ්‍රීෆ්කේස් එකක් සමඟ සාක්ෂිකරුවෝ නැවත පැමිණියහ.
වසරක පමණ කාලයක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු, යොසේ සහ ලයුඩ්මෙලා සාක්ෂිකරුවන් සමඟ ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල්වීමට සුදුසුකම් ලැබූහ. මාස තුනකට පසුව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකදී වතුර බව්තීස්මය මගින් දෙවියන්වහන්සේට කළ කැපවීම ඔවුහු සංකේතවත් කළෝය. මහලුවිය සහ දුර්වල සෞඛ්‍ය තත්වයක් තිබියදීත්, යොසේ ශුභාරංචිය දේශනා කිරීමෙහි නිතිපතා සහභාගි වූ අතර, 1995 මැයි මස සිය මරණය සිදු වන තෙක්, සභාවේ උපස්ථායක සේවකයෙකු ලෙස විශ්වාසවන්තව සේවය කළේය. මෙම නිහතමානී මිනිසා සහ ඔහුගේ බිරිඳ තුළ දක්නට ලැබූ ඒකාන්ත ඵල දේවවචනය සතු වෙනස් කිරීමේ බලයට සාක්ෂි සපයයි!