රෝගීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කෙරේ
‘ලේ නොදී මේ ශල්‍යකර්මය කරන්න මට කොහෙත්ම බැහැ. ශල්‍යකර්මය කරගන්න ඕන නම්, මගේ ප්‍රතිකාර ක්‍රමයට ඔයාට කැමැත්ත පළ කරන්න වෙයි. එහෙම නැත්නම්, ඔයාට වෙන වෛද්‍යවරයෙක් ළඟට යන්න සිදු වේවි.’
වෛද්‍යවරයාගේ වදන් තායිලන්තයේ ජීවත් වන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වන ජෙං සේ ජූගේ ඇදහිල්ල සසල කළේ නැත. මොළයේ අර්බුද වර්ගයක් වන මෙනින්ජියෝමා තිබෙන බවට රෝග නිර්ණය කරනු ලැබූ ජෙංට ශල්‍යකර්මයක් අත්‍යවශ්‍යම විය. එහෙත් බයිබලයේ ආඥාවකට කීකරුවීමට ඇය අධිෂ්ඨානපූර්වකව සිටියාය: ‘ලෙයින් . . . වැළකී සිටින්න.’—ක්‍රියා 15:28, 29.
හැකි නම් ඇගේම රටේ ප්‍රතිකාර ලබන්ට වැඩි කැමැත්තක් ඇතුව, ජෙං වෙනත් රෝහල් දෙකකට ගියාය. එහි සිටි වෛද්‍යවරුන්ද රුධිරය නොමැතිව ශල්‍යකර්මය කිරීමට ප්‍රතික්ෂේප කිරීම ඇගේ බලාපොරොත්තු සුන්වීමට හේතුවක් විය. අවසානයේදී, තායිලන්තයේ පිහිටි රෝහල් තොරතුරු සේවාව (රෝතොස්) මගින්, ටෝකියෝ කාන්තා වෛද්‍ය විදුහලේ ස්නායූ වේදී ආයතනයට ජෙංව සම්බන්ධ කරනු ලැබීය. එම රෝහලේදී, මොළයේ-අර්බුද තිබූ රෝගීන් 200කටත් අධික පිරිසකට විකිරණ චිකිත්සාවේ අලුත්ම සොයාගැනීමක් වන ගැමා කිරණ භාවිතයෙන් ප්‍රතිකාර කර තිබිණ.
රෝහලට යාබදව වෙසෙන ජපන් ජාතික සාක්ෂිකරුවන් සමඟ ජෙංට නැවතීමට විධිවිධාන යොදන ලදි. තායි භාෂාව කතා කරන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් හා රෝතොස් නියෝජිතයෙකු ඇතුළු කණ්ඩායමක් ගුවන් තොටුපොළේදී ඇයව හමුවීමට පැමිණ සිටියහ. සතියක් පමණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව, ජෙංව රෝහලට ඇතුල් කරනු ලැබූ අතර, ඈ ගැමා කිරණ භාවිතයෙන් ප්‍රතිකාර ලැබුවාය. ක්‍රියාවලියට ගත වූයේ පැයක් පමණි. පසුවදා රෝහලෙන් පිට වූ ජෙං, ඉන් දිනකට පසු තායිලන්තය බලා පිටත් වූවාය.
“මෙම විධිවිධානය තුළින් මෙපමණ උපකාරයක් සැපයිය හැකි බව මම කොහෙත්ම හිතුවේ නැහැ,” යනුවෙන් ජෙං පැවසුවාය. “මට දැක්වූ ප්‍රේමය මෙන්ම මෙයට සම්බන්ධ වූ විවිධ පුද්ගලයන් අතර තිබූ සහයෝගය වෙතටද මගේ සිත ඇදී ගියා.”
මෙම ප්රවෘත්ති විෂය ගැන වාර්තා කිරීමේදී, ජපන් ප්රවෘත්ති පත්‍රය වන මයිනීචී ෂිම්බූන්හි මෙසේ අදහස් ප්‍රකාශ කෙරිණ: “මේ තාක් කල්, රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කිරීමට ආගමික හේතු මතු කොට තිබිණ. කෙසේවෙතත්, රුධිර ප්‍රවේශන නිසා, ඒඩ්ස්, හෙපටයිටිස් C වැනි වයිරස ආසාදන සහ අසාත්මිකතාවල අවදානම වැනි අතුරු ආබාධ හටගනී. මෙම හේතුව නිසා, තමන්ගේ ආගමික විශ්වාසයන් කුමක් වෙතත්, රුධිර ප්‍රවේශන ලබන්ට අකමැති රෝගීහු සිටිති.”
එම පුවත්පතේ තවදුරටත් මෙසේ ප්‍රකාශ කෙරිණ: “රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කළ බොහෝ රෝගීන්ට බලෙන්ම රෝහල් මාරු කිරීමට සිදු වී තිබේ, එනමුත් රෝගියාගේ කැමැත්තට ගරු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ආයතනවල වෙනසක් සිදු කිරීම සඳහා අවශ්‍යතාවක් තිබේ. දැනුම් තේරුම් ඇතුව එකඟ වීම (එනම් සම්බන්ධ වන දේ ගැන රෝගියාට සම්පූර්ණ පැහැදිලි කිරීමකින් පසුව ප්‍රතිකාර සඳහා ඔහුගේ එකඟත්වය ලබාගැනීම) අවශ්‍ය වේ, ඇරත් රුධිර ප්‍රවේශන නියම වී තිබෙන රෝගීන් සම්බන්ධයෙන්ද මේ දෙය සිදු විය යුතුමය. මෙය වනාහි, විශේෂිත ආගමකට පමණක් සම්බන්ධ වන විෂයක් නොවන බව පිළිගත යුතු වේ.”
ජෙං සේ ජූ මෙන්, රුධිර ප්‍රවේශන නොමැතිව ප්‍රතිකාර ලබන්ට කැමති බොහෝදෙනෙකුට වෙනත් රෝහල්වලට යෑමට සිදු වේ. කෙසේවෙතත්, රෝගීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට කැමැත්තක් දක්වන වෛද්‍යවරුන්ගේ වෑයම් ඔවුහු අගය කරති.
වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලවල රෝහල් තොරතුරු සේවාව පිහිටුවන ලද්දේ, ඔවුන්ගේ විශ්වාසයන්ට ගරු කරන වෛද්‍යවරුන්ගේ සහය පැතීම උදෙසාය. ලොව පුරා රෝතොස් මගින් රෝහල්, වෛද්‍යවරුන්, සෞඛ්යාරක්ෂක සේවකයන්, නීතිඥයන් සහ විනිශ්චයකරුවන් සමඟ සුහද සබඳතා ගොඩනඟනු ලැබේ.