අසම්පූර්ණ මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල අඛණ්ඩතාව පැවැත්වීමට ඇතුළත් වන්නේ කුමක්ද?
අසම්පූර්ණ වූ සියලු මිනිසුන්ට දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට පූර්ණ ලෙස අනුකූල විය නොහැකි බැවින්, ක්‍රියාවෙන් හා කතාවෙන් පරිපූර්ණ වීම ඔවුන්ගේ අඛණ්ඩතාවෙන් අදහස් නොකරන බව ප්රත්යක්ෂය. ඒ වෙනුවට, හෘදයාංගම භක්තියෙන් පූර්ණ වීම ඉන් අදහස් කෙරෙන බව ශුද්ධ ලියවිලිවල පෙන්නුම් කෙරේ. දුර්වලකම හේතුකොටගෙන දාවිත් බැරෑරුම් වැරදි කිහිපයක් සිදු කළද, හේ ‘හෘදයේ අඛණ්ඩතාවෙන් යුතුව ගමන් කළේය’ (1රාජා 9:4, NW ) මන්දයත් ඔහු තරවටුව පිළිගෙන තම මාර්ගය නිවැරදි කරගත් බැවිනි. යෙහෝවඃ දෙවියන්වහන්සේ සඳහා ඔහුගේ හෘදයේ තවමත් අව්‍යාජ ප්‍රේමයක් රැඳී තිබුණු බව ඔහු මෙනයින් ඔප්පු කළේය. (ගීතා 26:1-3, 6, 8, 11) දාවිත් සිය පුත්‍ර සාලමොන්ට පසුව පැවසූ පරිදි: “නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරපන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක.” කෙසේවෙතත්, සාලමොන්ගේ “සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.”—1ලේක 28:9; 1රාජා 11:4; මෙම පාඨ දෙකෙහි සඳහන් “සම්පූර්ණ” යන වචනය හිතෝ 11:1; 1රාජා 15:14හි දක්නට ලැබෙන පරිදි, ෂා·ලෙම්ˈ යන තවත් හෙබ්‍රෙව් යෙදුමකින් රැගෙන තිබේ.
එමනිසා, අඛණ්ඩතාව මිනිස් හැසිරීමේ එක්තරා අංගයකට පමණක් සීමා වී නැත; පැහැදිලිවම “ආගමික” කටයුතුවලට පමණක් එය අදාළ නොවේ. දෙවියන්වහන්සේගේ සේවකයෙකු සඳහා නම් එය වනාහි, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත දැනගැනීමට අඛණ්ඩ උත්සාහයක යෙදෙමින් පුද්ගලයෙකු ‘ගමන් කරන’ ජීවන මාර්ගයකි. (ගීතා 119:1-3) යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට කෙළින්ම සම්බන්ධ කාරණාවලදී මෙන්ම පාලන කටයුතුවල තම හැසිරීමේද දාවිත් ඉශ්රායෙල් ජාතිය රැකබලා ගත්තේ “සිය හෘදයේ අඛණ්ඩතාව අනුව[ය].” එමෙන්ම තමා වටා සිටි අය මෙන්ම සිය සේවකයන් හැටියට ක්‍රියා කළ අයද ‘නිර්දෝෂ මාර්ගයක හැසිරීම’ එනම් අඛණ්ඩතාව රකින පුද්ගලයන් වීම ඔහුගේ අභිප්‍රාය විය. (ගීතා 78:72; 101:2-7) නෝවා, ආබ්‍රහම් හා වෙනත් අය මෙන්, කෙනෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ‘නිර්දෝෂ කෙනෙකු බවට ඔප්පු කරන්නේ’ යම් දිගු කාලපරිච්ඡේදයක් පුරාය.—උත් 6:9; 17:1; 2සාමු 22:24.
හිතකර අවස්ථාවලදී හෝ තත්වයන්වලදී පමණක් නොව, නමුත් ඕනෑම තත්වයක හා හැම අවස්ථාවකම ප්‍රතිපත්ති පාවා නොදී, යෙහෝවඃවහන්සේට පක්ෂපාතකම දැක්වීම හා ධර්මිෂ්ඨකමට ඇලී සිටීම අඛණ්ඩතාවට ඇතුළත් වේ. “සිතින් සැබෑව කියන්නාවූ” අඛණ්ඩතාව පවත්වන්නා පමණක් යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි කෙනෙකු බව අවධාරණය කිරීමෙන් පසු, එවන් කෙනෙකු “තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස්” නොකරන බව ගීතිකාකරු කියයි, එනම් තමා ගම්භීර ලෙස එකඟ වී ඇති දෙයක් තම පෞද්ගලික වාසියට විරුද්ධව යන ආකාරය පෙනුණත්, ඔහු තම ගිවිසුම නොසැලී රැකගන්නා බව ඉන් අදහස් කෙරේ. (ගීතා 15:1-5; සසඳන්න රෝම 1:31, 1තිමෝ 1:10හි වෙනස.) එසේනම්, පුද්ගලයෙකුගේ භක්තිය පරීක්ෂාවට ලක් වන විටත්, සිය ධර්මිෂ්ඨ මාර්ගය අත්හැරීමට ඔහු මතට පීඩන එල්ල වන විටත් ඔහුගේ අඛණ්ඩතාව වඩාත් ප්රත්යක්ෂ වේ. ඔහු විරුද්ධවාදීන්ගේ සරදමට ලක් වුවත් (යෝබ් 12:4; සසඳන්න යෙරෙ 20:7), ඔවුන්ගේ තික්ත කතාවලට (ගීතා 64:3, 4), වෛරයට හා දරුණු පීඩාවලට (හිතෝ 29:10; ආමො 5:10) මුහුණ දුන්නත්, අසනීපයෙන් හෝ දුක්මුසු දුෂ්කරතාවලින් පෙළුණත්, කවර අලාභයක් සිදු වුවත්, යෝබ් කළාක් මෙන්, පුද්ගලයෙකු ‘තම අඛණ්ඩතාව ස්ථිරව රැකගත’ යුතුය—යෝබ් 2:3, NW.
අඛණ්ඩතාව පැවැත්වීමේ එවන් මාර්ගයක ගමන් කළ හැක්කේ, පුද්ගලයෙකුගේ පෞද්ගලික සදාචාර ශක්තියෙන් නොව, නමුත් යෙහෝවඃවහන්සේ කෙරෙහිද උන්වහන්සේට ගැළවීම සැපයීමට තිබෙන බලය කෙරෙහිද ගැඹුරු ඇදහිල්ලක් හා දැඩි විශ්වාසයක් තැබීම තුළින් පමණි. (ගීතා 25:21) තමන් අඛණ්ඩතාවෙන් ගමන් කරන අයගේ මාර්ගය ආරක්ෂා කරන “පලිහක්” හා “බලකොටුවක්” වන බව දෙවියන්වහන්සේ පොරොන්දු වනසේක. (හිතෝ 2:6-8; 10:29; ගීතා 41:12) යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන් නිරන්තරයෙන්ම සැලකිලිමත් වන නිසා, ඔවුන්ගේ ජීවිතය ස්ථාවර වෙයි, තම ඉලක්කය කරා හඹා යෑම සඳහා ඍජු මාර්ගයක් අනුගමනය කිරීමට ඔවුන්ට මෙය ඉවහල් වේ. (ගීතා 26:1-3; හිතෝ 11:5; 28:18) යෝබ් ව්‍යාකූල වී නිරීක්ෂණය කළ පරිදි, නිර්දෝෂ අය දුෂ්ටයන්ගේ පාලනය නිසා දුක් විඳිමින්, දුෂ්ට අය සමඟ මියගියද, තමන් නිර්දෝෂ තැනැත්තාගේ ජීවිතය ගැන සාවධානව සිටින බව යෙහෝවඃවහන්සේ සහතික කරන අතරම, එවන් කෙනෙකුගේ උරුමය දිගටම පවතින බවත්, ඔහුගේ අනාගතය සාමකාමී එකක් වන බවත්, ඔහු යහපත් දේ අත් කරගන්නා බවත් උන්වහන්සේ සහතික කරනසේක. (යෝබ් 9:20-22; ගීතා 37:18, 19, 37; 84:11; හිතෝ 28:10) යෝබ්ගේ අද්දැකීමෙන් පැහැදිලි වන පරිදි, යමෙකු ගෞරවයට පාත්‍ර වන, අව්‍යාජ අගයකින් යුත් පුද්ගලයෙකු වීමට සලස්වන්නේ, අඛණ්ඩතාවේ පුද්ගලයෙකු වීම මිස යමෙකු සතු ධන සම්පත් නොවේ. (හිතෝ 19:1; 28:6) තමාගේ දෙමාපියෙකු එවන් පුද්ගලයෙකු නම්, එම දරුවන් සන්තෝෂවත් අය හැටියට ගණන් ගැනේ (හිතෝ 20:7), ඔවුන් සිය පියාගේ ජීවිත ආදර්ශය තුළින් විශිෂ්ට උරුමයක් අත් කරගන්නා අතර, ඔහු ලබාගත් හොඳ නම මෙන්ම අත් කරගත් ගෞරවයෙහි පංගුකාරකමක් ඔවුහු භුක්තිවිඳිති.
යෝබ්ගේ හා දාවිත්ගේ ආදර්ශවලට අමතරව, අඛණ්ඩතාවේ පුරුෂයන්ගේ ආදර්ශවලින් හෙබ්‍රෙව් ලියවිලි පිරී පවතී. සිය පුත්‍ර ඊසාක්ව පූජා කිරීමට කැමැත්ත දැක්වීමෙන්, ආබ්‍රහම් දෙවියන්වහන්සේට නොසැලෙන පක්ෂපාතකමක් දැක්වීය. (උත් 22:1-12) යෞවන කාලයේදී මෙන්ම පසු කාලවලදීද, පරීක්ෂා යටතේ අඛණ්ඩතාවේ විශිෂ්ට උදාහරණ දානියෙල් හා ඔහුගේ මිත්‍රයෝ තිදෙනාද සපයති. (දානි 1:8-17; 3:13-23; 6:4-23) පූර්ව ක්‍රිස්තියානි කාලවලදී සිය ඇදහිල්ල තුළින් නානාවිධ දුෂ්කර තත්වයන් යටතේ අඛණ්ඩතාව පවත්වාගත් මිනිසුන් සෑහෙන දෙනෙකු ඇතුළත් ලැයිස්තුවක් ප්‍රේරිත පාවුල්, හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සපයයි.—විශේෂයෙන් 33-38 දක්වා පද සැලකිල්ලට ගන්න.
it-1 1211 Integrity