පිරිසිදු අත්වලින් යෙහෝවා දෙව් නමදින්න
ගීතිකාකාර දාවිත් ආනුභාවයෙන් මෙසේ ගැයුවේය: “නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.”—ගීතාවලිය 26:6, නව අනුවාදය.
මේ වචන රචනා කරද්දී, පුදසුන වෙත නැඟ ගිනි මත තම පූජා ඔප්පු කළ ඉශ්රායෙල් ලෙවී පූජකයන්ගේ සිරිතට දාවිත් යොමු දැක්වුවා විය හැක. එහෙත් නමස්කාරයේ මෙම ක්‍රියාව සිදු කිරීමට පෙර, පූජකයන්ට තම අත් පා සේදීමට අවශ්‍යව තිබිණ. මෙය සුළුවෙන් තැකිය යුතු කාරණයක් නොවීය. මෙම ප්‍රාථමික පියවර ගැනීමට අසමත් වීමෙන් පූජකයෙකුට සිය ජීවිතය අහිමි විය හැක!—නික්මයාම 30:18-21.
උපමේය සේදීමකින් ආත්මික හා සදාචාර පිරිසිදුකම අත් වේ. (යෙසායා 1:16; එපීස 5:26, 27ආ) යෙහෝවඃවහන්සේට අදදින අපෙන් වුවමනා කරන්නේ, උන්වහන්සේට සේවය කිරීම මගින් ‘උන්වහන්සේගේ පුදසුන වටා’ අප ගමන් කරනු ලැබීමය. එහෙත් “නිදොස් බව දැක්වීමට” සේදූ අත් යනුවෙන් දාවිත් පැවසුවාක් මෙන්, අප පිරිසිදු අත්වලින් එසේ කිරීම උන්වහන්සේට අවශ්‍යය. අපිරිසිදු ක්‍රියාවල යෙදෙන අයට දේවරාජ්‍යය උරුම නොවනු ඇති බැවින් මෙය වැදගැම්මකට නැති අවශ්‍යතාවක් නොවේ. (ගලාති 5:19-21) දේවභක්තික ක්‍රියාවල නිරතව සිටීම යමෙකුට දුරාචාර ලෙස හැසිරීමෙහි නියැලීමට අවසර දෙන්නේ නැත. එබැවින් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.”—1 කොරින්ති 9:27.
දිව්‍යමය අනුමැතිය හා සැබෑ සන්තෝෂය සොයන අය යෙහෝවඃවහන්සේට පිරිසිදු අත්වලින් සේවය කළ යුතුය. දාවිත් මෙන්, ඔවුහු “සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද” හැසිරෙති.—1 රාජාවලිය 9:4.