දීම—එය අපේක්ෂා කෙරේද?
තෑගි දීම බොහෝවිට සිරිත් විරිත් මගින් පාලනය කෙරෙන බව ඔබ හොඳින් දන්නා දෙයක් විය හැක. බොහෝ සංස්කෘතිවල තෑගි අපේක්ෂා කෙරෙන අවස්ථා ඇත. එවැනි තෑගි ගෞරවය දැක්වීමේ සංකේත ලෙස හෝ ප්‍රේමය ප්‍රකාශ කිරීම් ලෙස අදහස් විය හැක. ලබන්නෝ ඒවායින් වැඩිහරියක් කිසිදා ප්‍රයෝජනයට නොගනිති; අනික් ඒවා සැබෑ අවශ්‍යතාවන් සපුරාලීමට උපකාරවත් වන අතර, ඉමහත් සේ අගය කෙරේ.
ඩෙන්මාර්කයේ ළදරුවෙකු ඉපදුණු විට, ළදරුවාට ප්‍රයෝජන වේයයි බලාපොරොත්තුවෙන් මිත්‍රයෝ සහ නෑදෑයෝ තෑගි රැගෙන බැහැදැකීමට එති. වෙනත් රටවල, උපත බලාපොරොත්තුවෙන් මිත්‍රයන් සාදයක් පැවැත්විය හැකි අතර, එහිදී එවන් තෑගි දෙනු ලැබේ.
බොහෝ අවස්ථාවලදී, තෑගි අපේක්ෂා කෙරෙන අවස්ථා වූ කලි වාර්ෂික ඒවා වේ. මුල් ක්‍රිස්තියානීන් අතර එවන් උත්සව පුරුද්දක් ලෙස නොකෙරුණත්, ක්‍රිස්තියානීන්යයි කියාගන්නා වැඩිදෙනෙකු තුළ මෙන්ම ඒ හා සමානව ක්‍රිස්තියානීන් නොවන අය අතර ඒවා ඉතා ජනප්‍රිය වී ඇත. වෙනත් සංස්කෘතිවල දරුවන් වයසින් මුහුකුරා යන විට උපන්දින තෑගි දීමේ පුරුද්ද ක්‍රමයෙන් පහව යාහැකි මුත්, ඊට ප්‍රතිවිරුද්ධ සිරිතක් ග්‍රීක්වරුන් අතර පවතී. ග්‍රීසියෙහි උපන්දිනවලට වැඩිමනත් අවධානයක් දෙයි. ඔවුහු පුද්ගලයෙකුට සිය “නම දරන දිනයේදී” තෑගි දෙති. ඒ කුමක්ද? ඇත්තෙන්ම, ආගමික සිරිතට අනුව, වර්ෂයේ සෑම දවසකටම වෙන් වෙන් වශයෙන් “සාන්තුවරයෙකු” සම්බන්ධ කෙරෙන අතර, බොහෝදෙනෙකුට “සාන්තුවරයන්ගේ” නම් දී ඇත. “සාන්තුවරයාගේ” දිනය පැමිණෙන විට, එම නාමය දරන අය තෑගි ලබත්.
කොරියානු ජාතිකයන්, තම දරුවන් සඳහා උපන්දින උත්සව පවත්වනවාට අමතරව, ළමා දිනය ලෙස හැඳින්වෙන ජාතික නිවාඩු දිනයක්ද ඔවුන්ට තිබේ. එය පවුලේ විනෝදගමන්වල යෙදෙන හා දරුවන්ගේ උපන්දිනය කවදා වෙතත් ඔවුන්ට තෑගි ලබා දෙන කාලයක් වේ. දරුවන් සිය දෙමාපියන්ට තෑගි දෙන දෙමාපිය දිනයක්ද, ශිෂ්‍යයන් තම ගුරුවරුන්ට ගෞරවය දක්වමින්, තෑගි දෙන ගුරුවරුන්ගේ දිනයක්ද කොරියානු ජාතිකයන්ට තිබේ. කොරියානු සිරිතට අනුව, පුද්ගලයෙකු වයස අවුරුදු 60ට පිවිසි විට, විශාල සාදයක් පැවැත්වේ. දීර්ඝායු හා සන්තෝෂය පතමින් හවුල් වන පවුල සහ මිත්‍රයෝ, එම ජීවිත මංසන්ධියට පිවිස සිටින තැනැත්තාට තෑගි දෙති.
ජනප්‍රිය සිරිතට අනුව තෑගි දිය හැකි තවත් අවස්ථාවකි, විවාහ මංගල්‍ය අවස්ථාව. කෙන්යාවේ යුවළක් විවාහ වන විට, මණාලයාගේ පවුල මණාලියගේ පවුලට තෑග්ගක් ප්‍රදානය කිරීම අපේක්ෂා කෙරේ. අමුත්තෝද තෑගි රැගෙන එති. මණාලිය සහ මණාලයා සිරිතේ නියමය අනුගමනය කරත් නම්, ඔවුන් වේදිකාවක් මත අසුන්ගන්නා අතර අමුත්තෝ සිය තෑගි රැගෙන එති. එකිනෙක ප්‍රදානය කරනු ලබද්දී, “අහවල් තැනැත්තා යුවළට තෑග්ගක් ගෙනැවිත් තිබේ” යනුවෙන් නිවේදනය කරනු ඇත. එවැනි පිළිගැනීමක් නොලැබුණහොත් දෙන්නන්ගෙන් වැඩිදෙනෙකු තදින්ම අසතුටට පත්වනු ඇත.
ලෙබනන් ජාතිකයන් අතර, කෙනෙකු විවාහවීමට යන විට, මිත්‍රයෝ, අසල්වාසීහු, එපමණක්ද නොව යුවළ හොඳින් නොදන්නා අය පවා, නියමිත දිනට සෑහෙන කලින්, තෑගි රැගෙන එති. තෑගි දීම වනාහි වගකීමක්, ණයක් ගෙවීමක් හා සමානයයි ළමාවියේ පටන් ඔවුන්ට උගන්වනු ලැබේ. “ඔබ එසේ නොකළහොත්, ඔබ තුළ හොඳ හැඟීමක් ඇතිවන්නේ නෑ, ඒකයි සිරිත” යයි ලෙබනන් ජාතික මිනිසෙක් පැවසීය.
කෙසේවුවත්, දීම අපේක්ෂා කෙරෙන සියලු අවස්ථාවලින්, නත්තල ප්‍රමුඛත්වයෙහිලා ගැණේ. ඔබ ජීවත් වන ස්ථානයේ එය එසේ නොවේද? අමෙරිකානුවන් නත්තල් තෑගි සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 40කට වඩා වියදම් කරන බවට වර්ෂ 1990 වැනි මෑත කාලයේදී ගණන්බලා ඇත. ජපානයේ බෞද්ධ සහ ෂින්ටෝ භක්තිකයන් විසින්ද මහත් උනන්දුවකින් එම නිවාඩුදිනය උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර, යුරෝපයේ, දකුණු අමෙරිකාවේ සහ අප්‍රිකාවේ ඇතැම් කොටස්වල වෙනස් ආකාරවලින් උත්සවය පැවැත්වේ.
නත්තල ජනයා සතුටෙන් සිටීයයි අපේක්ෂා කෙරෙන සමයක් නමුත්, බොහෝදෙනෙක් එසේ නොසිටිති. තවද තෑගි ගැනීමට දරන වියරු උත්සාහයද, බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවන කනස්සල්ලද, තමුන් අද්දකින මොහොතක සතුට වුවත් යටපත් කරන බව බොහෝදෙනෙකුට හැඟීයයි.
එහෙත්, බයිබලය පවසන්නේ දීමෙහි සතුට තිබෙන බවය. ඇත්තෙන්ම දීම සිදු කෙරෙන ස්වභාවය අනුව සතුටක් තිබේ.—ක්‍රියා 20:35.