ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—නවසීලන්තය
දිවයින්වලට යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කළ හැකිද? යෙසායා 42:10ට අනුව එසේය: “දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක්ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.” නවසීලන්තයට ඇතුළත් වන දිවයින් සැබවින්ම යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරති. විල්, ෆියෝඩ, ඉතා උස් වූ කඳු, ග්ලැසියර, වෙරළවල්, මීවනවලින් පිරී තිබෙන වර්ෂා වනාන්තර සහ සාරවත් පිටිසරබද භූමි ප්‍රදේශ යනාදිය සමන්විත වීමෙන් ලෝක ප්‍රසිද්ධියට පත් නවසීලන්තය, ස්වර්ගයේ සහ පොළොවේ මැවුම්කරුවාණන්ගේ උත්කෘෂ්ටත්වය සහ මහිමය ගැන ව්‍යක්ත ලෙස ප්‍රකාශ කරයි.
මෙම සියවසේ ආරම්භය පටන්, නවසීලන්තයේ වෙසෙන්නන් තව තවත් වැඩි සංඛ්‍යාවක් නිර්මල නමස්කාරය තුළින් යෙහෝවඃවහන්සේ වෙත හැරීමෙන් සහ අන්‍යයන් සමඟ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීමෙන්, උන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා තමන්ගේ කටහඬවල් මුසු කර තිබේ. මෑතකදී, ඥාතීන්ට සාක්ෂිදැරීම සම්බන්ධයෙන් කදිම අද්දැකීමක් අසා තිබූ සාක්ෂිකරුවෙක්, තම පවුලේ අයට සාක්ෂිදැරීම සඳහා වෑයමක් දැරීමට තීරණය කළේය. ඔහු තම පවුල් සාමාජිකයන් කීපදෙනෙකුටම, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත තිළිණ වශයෙන් ප්‍රදාන කළේය. මේ වන තෙක් ප්‍රතිඵලය? ඔහුගේ එක් සහෝදරියක් සහ සහෝදරයෙක් බයිබලය අධ්‍යයනය කරන බවත්, ඔහුගේ ඥාති පුතෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වී ඇති බවත්, අනික් අය දැන් දේවවචනයේ සත්‍යය පිළිගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවත් ඔහු වාර්තා කරයි. ඔහුට සේවය කිරීමට තවමත් විශාල ක්ෂේත්රයක් තිබේ; ඔහුගේ දෙමාපියන් හැර, සහෝදරයෝ හයදෙනෙක්ද, සහෝදරියෝ නවදෙනෙක්ද සිටිත්!
රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා සාක්ෂිකරුවන් එකට එක්රැස්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා පිරිනැමේ. නිදසුනක් වශයෙන් පුවත්පත් තීරු වාර්තාකරුවෙක් වන රෝයි පර්කින්ස්, 1994 මැයි 17වන දින ඕපෝටිකි නියුස්හි මෙසේ ලීවේය: “ඔවුන්ගේ දෙවියන්වහන්සේ සඳහා ප්‍රේමයේ ප්‍රකාශ වීමක් වශයෙන්, එම ව්‍යාපෘතිය සඳහා තම කාලය සහ වෑයම ඉදිරිපත් කළ කැපවූ සේවකයන්ගේ සේවය සහ වෑයම දැකීමෙන්, නොඇදහිලිකරුවෙක් වූ මම මහත් විස්මයට පත් වුණෙමි.
“සති අන්තය තුළදී ඔවුන් වැඩ කළ බොහෝ පැය ගණන් තුළ, වෘත්තීය සංගමයේ එක ආරවුලක්වත් මම නුදුටිමි. . . . සියලුදෙනාම සන්සුන් සහ සන්තෝෂවත් ස්වභාවයක සිටිය අතර, බදාම පිරවීමෙන්, එසවීමෙන් සහ උසුලාගෙන යෑමෙන් ස්ත්‍රීහු තම පුරුෂයන් සමඟ එකට පලංචිවල වැඩ කරමින් සිටියෝය.
“කිසිකෙනෙක් දුම්පානය නිසා මිනිත්තුවක කාලයක්වත් අපතේ හැරියේ නැහැ. කුමන තත්වයක හෝ වැඩ කළ මිනිසුන් සදහා, තීන්ත දුම සහ ගඩොල් කුඩු හැරුණු කොට එහි වාතය පිරිසිදුව තිබිණ.
ඕපෝටිකි සභාවේ වැඩිමහල් මණ්ඩලය මෙසේ ලීවේය: “මේ ව්‍යාපෘතිය මුළු නගරයේම සිටින ජනයාව විස්මයට පත් කර ඇත. සෑම කෙනෙකුම මේ සම්බන්ධයෙන් කතා කරන බව පෙනෙන්ට තිබෙන කාරණයකි. බයිබල් පාඩම් කිහිපයක්ම ආරම්භ කර ඇත. මේවා අතරින් විශේෂයෙන්ම හද දනවන එකක් ලෙස අප සලකන්නේ, වසර ගණනාවකට ඔවුන්ව හමුවීමට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටි භක්තිවන්ත යුවළට කරන පාඩමය. ඔවුහු ඉදි කිරීම් භූමියට සෑම දිනකම පැමිණි අතර, ඉන්පසුව රැස්වීම්වලටද පැමිණියෝය. පසුව එම ස්වාමිපුරුෂයා මෙසේ ප්‍රකාශ කළේය, ‘ඔබලා දෙවියන්වහන්සේගේ ජනයා බව මට පේනවා. මෙවැනි මනුෂ්‍යයන් සමඟ ආශ්‍රය කිරීමට මා මාගේ මුළු ජීවිත කාලය පුරාම ආශාවෙන් සිට තිබෙනවා.’ ”
පසුගිය වසරේදී, ඩුනෙඩින්හි ඉක්මනින් සාදනු ලැබූ රාජ්‍ය ශාලාවක් සම්බන්ධයෙන් ඕටාගො ඩේලි ටයිම්ස්හි එක් තීරු වාර්තාකරුවෙක් මෙසේ පැවසුවේය: “එය විශිෂ්ට ක්‍රියාවක් විය, පෙලඹීමේ සහ ආත්මෝපකාරයේ විශිෂ්ට නිදසුනකි.” එම පුවත් පතම මෙසේ ප්‍රකාශ කළේය: “ඔවුන් ඉදිරියේ විශාල ගොඩනැඟිල්ලක් ඉදි කෙරුණු ආකාරය නගර වාසීහු අගය කිරීමකින් යුක්තව බලා සිටියෝය, තවද, ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය මෙලෙස ඉදිරිපත් කරන විශාල සංඛ්‍යාවක් සහ බොහෝ සහයෝගය දක්වන ස්ප්‍රීතුවක් ලබාගත හැකි වේ නම්, ඉටු කළ හැකි වෙනත් වෙනස්වීම් සහ ඒකාන්ත ව්‍යාපෘති සම්බන්ධයෙන් බොහෝදෙනෙකු කල්පනා කරනවා විය හැක. රාජ්‍ය ශාලාව, ප්‍රතිඵල අත් කරගැනීමට ඉවහල් වන ගොඩනංවනසුලු වෑයමක ආඩම්බර සංකේතයකි.
වැඩබිම නැරඹීමට පැමිණි සියගණන්දෙනා අතරින් එක්තරා තැනැත්තෙකු නිරීක්ෂණය කළේ සාක්ෂිකරුවන් තමන්ගේ “පල්ලි” ගොඩනඟමින් සිටින අතර, ඔහුගේ ආගමික නිකායේ සාමාජිකත්වය හිඟ නිසා ඒවා විකුණන බවය. “ඔබ තව මාස දොළහක් පමණ කාලයක් සිටියා නම් අපගේ එකක් මිල දී ගන්ට තිබුණා” යයි ඔහු ප්‍රකාශ කළේය. “ගෙවීම් කරන්ට බැරි නිසා අපට එකක් විකිණීමට සිදුවෙනවා. එහෙත්, ඇත්තෙන්ම ඔබට මුදල් ගෙවනු ලබන පූජක පංතියක් නැහැ. . . . තවද ඔබගේ ගොඩනැඟිලි නඩත්තු කළ නොහැකි උස් කොත් සහිත ඒවා නොවන නිසා, එම ගොඩනැඟිලිවලට එතරම් නඩත්තු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.”
දිවයින්වලට සැබවින්ම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ හැකි බව පැහැදිලිය. මෙම අලංකාර පැසිෆික් දේශය තුළ සහ ලොව වටා දිගටම යෙහෝවඃවහන්සේගේ ප්‍රශංසා රැව් පිළිරැව් දෙත්වා!
[9වන පිටුවේ කොටුව]
රටේ ආකෘතියක්:
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 12,867
අනුපාතය: 1 සාක්ෂිකරුවෙකුට 271
සිහිකිරීමට පැමිණීම: 24,436
පුරෝගාමී ප්රචාරක සාමාන්‍යය: 1,386
බයිබල් පාඩම් සාමාන්‍යය: 7,519
බව්තීස්ම වූ සංඛ්‍යාව: 568
සභා ගණන: 158
ශාඛා කාර්යාලය: මානුරෙවා
[9වන පිටුවේ පින්තූරය]
1930හි පමණ පුරෝගාමීන් ක්ෂේත්රයට යෑම
[9වන පිටුවේ පින්තූරය]
මානුරෙවාහි ශාඛා කාර්යාල පහසුකම්
[9වන පිටුවේ පින්තූරය]
ඩෙවන්පෝට් ඕක්ලන්ඩ්හි රාජ්‍ය පණිවිඩය දේශනා කිරීම