දෙවියන්වහන්සේගේ නාමය දරන කාසි
මෙහි දක්වා ඇති රිදී කාසි දෙස පරීක්ෂාවෙන් බලන්න. ඒවා 1627 සිට 1637 දක්වා සිය පාලන සමය තුළ ජර්මානු රජ වන Vවන විල්හෙල්ම් විසින් සාදනු ලැබීය. ඒ කාලයේ, මධ්‍යම යුරෝපය කතෝලිකයන් හා රෙපරමාදුවන් අතර අරගලයක, එනම් තිස් අවුරුදු යුද්ධයට පැටලී තිබිණ. පස්වන විල්හෙල්ම් රෙපරමාදුවන්ට සහයෝගය දුන්නේය. එම ගැටුමේ අතිවිශාල වියදම් දැරීමට, ඔහු තමාගේ රිදී සියල්ල ගෙන ඉන් කාසි සෑදුවේය.
සැලකිය යුතු ලෙසින්, එම කාසි බොහොමයක් මත යොදන ලද සටහනට දෙවියන්වහන්සේගේ නාමය වන, යෙහෝවඃ, හෙබ්‍රෙව් අක්ෂර සතරෙන් දක්වා ඒ වටේට සූර්යයා කොටා තිබිණ. එහි ශක්තිය අඟවමින්, තල් ගසක්ද කොටා තිබිණ. එම ගස සුළඟට නැමී තිබුණද, දෙවියන්වහන්සේගේ ආරක්ෂාව යටතේ නොකැඩුණ තත්වයක තිබෙන බව ඉන් අඟවන ලදි. එම කාසිය වටේට යොදා තිබූ ලතින් සටහනෙහි කියවන්ට තිබුණේ, “යෙහෝවඃවහන්සේගේ කැමැත්ත තිබෙන තෙක්, මගේ ඍජුකම රැකගනු ලබන්නෙමි” කියාය.
දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ලබාගන්නවා වෙනුවට, එලෙස දෙවියන්වහන්සේගේ නාමය පාවිච්චි කිරීම සැබවින්ම නිශ්ඵල දෙයක් විය. මන්දයත් මිනිස්වර්ගයාගේ සාහසික ගැටුම්වලදී යෙහෝවඃවහන්සේ පැති නොගන්නා නිසාය. ඇත්තවශයෙන්ම, එම තිස් අවුරුදු යුද්ධයට දෙවියන්වහන්සේගේ අනුමැතිය නොලැබෙන්ට ඇත. ඒ පිළිබඳව ෆ්වන්ක් ඇන්ඩ් වැග්නල්ස් නිව් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ගතානුගතික තක්සේරු කිරීම්වලට අනුව, ජර්මානුවන්ගෙන් අඩකට නොඅඩු පිරිසක් එම යුද්ධයෙන් විනාශ විය. අසංඛ්‍යාත ජර්මානු ප්‍රධාන නගර, නගර, ගම් හා ගොවිපොළවල් සහමුලින්ම විනාශ විය. දළ වශයෙන් ජර්මානු කර්මාන්ත, කෘෂිකර්මය හා වාණිජ්‍ය පහසුකම්වලින් තුනෙන් දෙකක් විනාශ විය.”
මෙම කාසි මත යෙහෝවඃවහන්සේගේ නාමය පාවිච්චි කිරීම සිහිපත් කරවන්නේ “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව” යනුවෙන් ඉශ්‍රායෙලිතයන්ට දෙනු ලැබූ ආඥාවය. (නික්මයාම 20:7) එහෙත්, මෙම කාසි යෙහෝවඃ යන දිව්‍ය නාමය දීර්ඝ කාලයක් පුරා ජර්මානුවන් හොඳින් දැන සිටි බවට සාක්ෂියකි. එම නාමය දරන දෙවියන්වහන්සේව ඔබ කොතරම් හොඳින් හඳුනන්නෙහිද?