ඔබේ යාච්ඤා ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද?
යාච්ඤාව වනාහි යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැපයුම් අතර අද්විතීය එකක් වෙයි. විරුද්ධවාදීන් ඔබගේ බයිබලය ඔබෙන් පැහැරගන්ට පුළුවන, නැතහොත් ඔබේ සෙසු නමස්කාරකයන් සමඟ රැස්වීමෙන් ඔබව වළක්වන්ට පුළුවන, නමුත් යාච්ඤාව ඔබෙන් සොරාගැනීමට කිසිවෙකුට නොහැක. යාච්ඤාවේ අගය වචනයෙන් ලියා විස්තර කළ නොහැක. එසේනම්, අප සෑම කෙනෙක්ම මෙම වරප්‍රසාදය ඉතා අගේ කොට සලකා, ඉන් පූර්ණ ප්‍රයෝජනගැනීම කොතරම් වැදගත්ද? ඔබේ යාච්ඤාවල ගුණය වැඩිදියුණු කිරීමට ඔබට උපකාරවත් විය හැක්කේ කුමක්ද?
බයිබලය යනු යාච්ඤා පොතක් නොවේ. එහෙත්, යාච්ඤාව පිළිබඳව මිනිස්වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම පාඨ ග්‍රන්ථය ලෙස එය විස්තර කළ හැකිය. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පමණක් ගීතිකා 150කට වඩා අඩංගුය. ඇතැම් ඒවා කෙටිය; තවත් ඒවා දිගය. ජයනාද කරන විට හෝ විපත්තිවලට මුහුණ පාන විට, රජවරුන් විසින් හෝ වහල්භාවයට ගනු ලැබූවන් විසින් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකවම ඒවා උච්චාරණය කරන ලදි. ගීතාවලිය 65:2හි දාවිත් ගායනා කළාක් මෙන්, “මාංසමයවූ සියල්ලෝ” ‘යාච්ඤා අසන තැනැන්වහන්සේ’ වන යෙහෝවඃවහන්සේ වෙතට හැරෙන්නෝය. දෙවියන්වහන්සේ බයිබලයේ ලේඛකයන්ට යාච්ඤාවල එවැනි පුළුල් වරණයක් වාර්තා කිරීමට ආනුභාවය දුන්නේ මන්ද?
එම ප්‍රශ්නයට පිළිතුරු දීමට, 2 තිමෝති 3:16, [NW] සලකාබලන්න. එහි මෙසේ කියයි: “මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය . . . ප්රයෝජනවත්ය.” මෙසේ, ශුද්ධ ලියවිලිමය අනාවැකි, ප්‍රතිපත්ති සහ ඉතිහාසය අපට මඟ පෙන්වනවාක් මෙන්ම, බයිබලයේ යාච්ඤාද අපට තිබෙන්නේ මඟ පෙන්වන පිණිසය. මෙවන් යාච්ඤා අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?
ශුද්ධ ලියවිලිමය යාච්ඤා දෙස සමීපව බැලීමේදී, අපගේම තත්වයට සමාන තත්වයන්හි පවසන ලද යාච්ඤා අපට හඳුනාගත හැකිය. අරමුණ හා පසුබිම තුළ යාච්ඤා විවිධත්වයක් ගන්නා සැටි අපට ඉගෙනගත හැකිය. එපමණක්ද නොව, ප්රශංසාවේ හා ස්තුති දීමේ නව ප්‍රකාශද අප විසින් සොයාගනු ඇති අතර, අපගේ කන්නලව් හා ඉල්ලීම් සඳහා අපට නව වචනද, සොයාගත හැකි වනු ඇත. ලුහුඬින් කියතොත්, අපගේම යාච්ඤාවල ගුණය වැඩිදියුණු කිරීමට අපට උපකාර කිරීමට බයිබලයේ යාච්ඤාවලට හැකිය.
යේසුස්වහන්සේගේ මව බවට පත්වූ මරියා වනාහි, බයිබලයේ වාර්තා වී ඇති යාච්ඤාවල ප්‍රකාශවලින් ප්රයෝජනගත් තැනැත්තියක වූ බව පෙනෙන්ට තිබේ. මරියා සහ ඇගේ ඥාතියක වූ එලිසබෙත් යන දෙදෙනාම දිව්‍ය සහය ඇතුව පුත්‍රයෙකු බැගින් පිළිසිඳගත්තායින් පසුව, මරියා එලිසබෙත් බලන්ට ගියාය. මරියා දෙවියන්වහන්සේට ප්‍රශංසා සහ ස්තුතිදීම් පුද කළ අතර, ඇගේ සමහරක් වචන විශේෂයෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අඩංගු යාච්ඤාවලට සැලකිය යුතු ලෙසින් සමානය. මින් පෙනෙන්නේ, අනාගතවක්තෘ සාමුවෙල්ගේ මව වූ හන්නා කළ යාච්ඤා සමඟ මරියා හුරුපුරුදුව සිටි බවයි. හන්නාටද මීට අවුරුදු 1000කට පමණ පෙර, දෙවියන්වහන්සේගේ උපකාරයෙන් පුත්‍රයෙකු පිළිසිඳ තිබිණ. මෙම යාච්ඤාවල තමාගේම හැඟීම් පිළිබිඹු වූ හෙයින්, මරියා මෙම යාච්ඤා මත මෙනෙහි කළා විය හැකිද?—1 සාමුවෙල් 2:1-10; ලූක් 1:46-55.
ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබගේම තත්වයන්ට සමාන තත්වයන් යටතේ පවසන ලද බයිබලයේ යාච්ඤාවක් ඔබට මතක් කළ හැකිද? එවැනි යාච්ඤා සොයා, කියවා, මෙනෙහි කිරීමෙන්, දෙවියන්වහන්සේ සමඟ ඔබ කරන කතා බහේ ගුණය වැඩිදියුණු කිරීමට, එය ඔබට උපකාරවත් වනු ඇත. ඊළඟ ලිපියේදී, ශුද්ධ ලියවිලිවල යාච්ඤා තුනක් සෝදිසි කර බැලීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඒවා ඔප්පු කරන ලද්දේ, සමහරවිට ඔබගේම තත්වයන්ට සමාන වූ විවිධාකාර තත්වයන් යටතේය.