රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දෙවියන්වහන්සේගේ ජනයා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙති
කුප්‍රස් දූපතේ වැසියෙකු වූ ඔහුගේ නම යෝසෙප් විය. ක්‍රිස්තියානි ධර්මයේ උන්නතිය සඳහා මූල්‍යමය වශයෙන් සම්මාදම් කිරීම පිණිස කෙත්වතු හා නිවෙස් විකුණූ පළමු සියවසේ ක්‍රිස්තියානීන් අතර ඔහුද විය. ඔහුගේ හදවතේ උණුසුම්භාවය සහ ත්‍යාගශීලිත්වය හේතුවෙන්, ඔහු “සැනසීමේ පුත්‍රයා” [NW] අරුත් දරන, බාර්ණබස් නමින් හඳුන්වනු ලැබිණ.—ක්‍රියා 4:34-37.
අන්‍යයන් කෙරෙහි වූ එවන් අව්‍යාජ සැලකිල්ල සෑමවිටම යෙහෝවඃවහන්සේගේ සැබෑ නමස්කාරකයන්ගේ අංගලක්ෂණයක් වී තිබේ. අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ද මේ හා සමානය, සොලොමන් දූපත්වලින් පැමිණෙන මෙම අද්දැකීමෙන් මෙය ඉස්මතු වෙයි.
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිට සාක්ෂිකරුවන් 60දෙනෙකුට වැඩි කණ්ඩායමක්, සොලොමන් දූපත්වල, ග්වොඩල්කැනල් නම් දූපතේ අගනුවර වන හොනිආරා වෙතට ගමන් කළහ. ඔවුන් එහි පැමිණියේ විශාල ක්‍රිස්තියානි රැස්වීම් සඳහා එක්රැස්වීම් ශාලාවක් සෑදීමට උපකාර කරනු පිණිසය. ආසන 1,200කින් පමණ සමන්විත ශාලාවක් ඉදි කිරීමට ඔවුන්ට ගත වූයේ සති දෙකක කාලයක් පමණි.
මේ කාලයේදීම, නිව් ජොර්ජියා දූපතේ මූන්ඩා නමැති කුඩා නගරයේ බලධාරීහු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට නගරය හරිමැද බිම් කැබැල්ලක් ලබාගැනීමට අවසර දුන්හ. රාජ්‍යය ශාලාවක්, හෙවත් නමස්කාර ස්ථානයක් ගොඩනැංවීමට ඔවුන්ට වුවමනා විය. තවද ඔවුන්ට සැබවින්ම එවැන්නක් අවශ්‍ය විය. ඔවුන් රැස්වීම් පවත්වමින් සිටියේ, කොළ අතුවලින් සැදි කුඩා නිවසක සාලයේය, නමුත් රාජ්‍යය ශාලාවක් සෑදීමට අවශ්‍ය සම්පත් ඔවුන්ට තිබුණේ නැත.a මෙම සභාව, බොහෝ දුරට වයසක හා අබල දුබල අයගෙන් හා ළමුන්ගෙන් සමන්විත වී තිබුණු අතර, ඉදිකිරීමේ ක්ෂේත්රයේ අද්දැකීම් ලත් කිසිවෙකු නොවීය.
සැතපුම් 235ක් දුරින්, ග්වොඩල්කැනල් දූපතේ හොනිආරා නගරයේ සාක්ෂිකරුවෝ තමන්වම කැමැත්තෙන් ඉදිරිපත් කළහ. (ගීතාවලිය 110:3) ඔවුහු මෙසේ තර්ක කළෝය: “වෙනත් රටවල සිටින අපේ සහෝදරයන් සති දෙකකින් එක්රැස්වීම් ශාලාවක් සෑදීමට කැමතිවන්නේ නම්, මූන්ඩාහි අපගේ සහෝදරයන්ට සති දෙකකින් රාජ්‍යය ශාලාවක් සෑදීමට අපට ස්ථිරවශයෙන්ම උපකාර කළ හැකියි.”
සිදුවූයේ එයමයි. එක් දවසක, සන්තෝෂවත් හා උනන්දුමය ස්වේච්ඡා සාක්ෂිකරුවන් පිරිසක් පටවාගත් කුඩා බෝට්ටුවක් මූන්ඩා වෙත ළඟා විය. බාල මහලු, ගැහැනු පිරිමි සියල්ලෝම, තමන් ගෙනා බඩු බාගැනීමට යුහුසුලු වී, තමන් මූන්ඩා කරා පැමිණීමට පෙර ගෙනැවිත් තිබූ දැව, සිමෙන්ති, වහල සෙවිලි කරන යකඩ සහ වෙනත් දෑ සමඟින් ඉදි කිරීම ආරම්භ කළහ.
වැඩය පටන්ගන්නවාත් සමඟම, විදුලි කෙටීම් සහිත කුණාටුවක් සිදුවූ නිසා, නගරයේ ජලසැපයුම ඇණහිටියේය. කෙසේවෙතත්, මෙය ජයගත නොහැකි මහා ගැටලුවක් වූයේ නැත. සාක්ෂිකරුවෝ මුළු ඉදි කිරීමේ වැඩකටයුතු කරනු ලැබූ කාලයටම ජලය සැපයීමට දායක වූ ළිඳක් හෑරුවෝය. සියලුම වැඩකරුවන් සඳහා ආහාර ගැන කුමක් කිව හැකිද? එයද ගැටලුවක් වූයේ නැත. හොනිආරා සභාවලින් සපයන ලද බහුල ආහාර ප්‍රමාණයක් සමඟින් හොනිආරා සිට ස්වේච්ඡා සේවකයන්ව එවා තිබුණි. ඔවුන් තමන්ගේ කෝකියන්ව පවා රැගෙනැවිත් තිබුණි!
අසල්වාසීහු ඇස් අදහාගත නොහැකිව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය දෙස බලා සිටියෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙසේ පැවසීය: “මෙහි මේ වගේ දේවල් දවස් කීපයකින් සිදුවන්නේ නැහැ. ඒවාට අවුරුදු ගණන් ගත වෙනවා.” ආගමික නායකයෙක් වූ තවත් අසල්වැසියෙක්, තම පල්ලිය වසර 20ක් පුරා තවමත් ගොඩනඟමින් තිබෙන බවත්, තවමත් එය නිමාවී නැති බවත්, පැවසීය. මීට පටහැනි ලෙස, මූන්ඩාහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නව රාජ්‍යය ශාලාව, හරියටම දවස් දහයකින් නිමාවට පත්විණි!
[පාදසටහන්වල]
a කොළ අතුවලින් සැදි නිවසක් සාදනු ලබන්නේ, කුඩා වනලැහැබකින් හෝ වනාන්තරයකින් කපාගන්නා ලද දේවල්වලිනි. එහි රාමුව ලී සහ පොලුවලින් සැදි අතර, වහලය සහ බිත්ති, ලී මත තබා වැල්පොටවල්වලින් බැඳ ඇති පොල්අතුවලින් සමන්විතය.
[24වන පිටුවේ සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
දකුණු පැසිෆික් සාගරය
සොලොමන් දූපත්
මූන්ඩා
ග්වොඩල්කැනල්
හොනිආරා
[සිතියම]
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය