“සැබෑ කිතුනුවන් හැසිරිය යුතු අයුර එයයි”
වර්ෂ 1990දී, ලියන ලද, ආර්බයිට් මැච්ට් ටෝට්—අයන යූජෙන්ට් ඉන් ඖෂ්විට්ස් (වැඩ ඔබව මරා දමයි—ඖෂ්විට්ස්හි යෞවන පුරුෂ අවදිය) නමැති තම පොතේ, ඖෂ්විට්ස්හිදී ජීවිතය ගළවා ගත් ටිබෝර් වෝල්, සෙසු සිරකරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ, තමාට ඇසුණු කථාබහක් ලියා තබයි. මින් එක් අයෙක්, එනම්, ඕස්ට්‍රියන් ජාතිකයෙක් “නොඇදහිලිකාරයෙක්” යයි කියා සිටියෙකි. එහෙත්, ඔහු දම්පාට ත්‍රිකෝණ ලකුණ පැළඳගෙන සිටි බයිබල් ශිෂ්‍යයන් වශයෙන් කඳවුරේ හැඳින්වුණ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වන සිරකරුවන් ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කළේය.
“ඔවුන් යුද්ධයට යන්නේ නැහැ” ඕස්ට්‍රියානුවා සිය මිතුරාට පැවසීය. “තව කෙනෙක්ව මරනවාට වඩා ඔවුන් මියයෑමට කැමතියි. මට පෙනෙන විදිහට, සැබෑ කිතුනුවන් හැසිරිය යුතු අයුරු එයයි. ඔවුන් සමඟ මට තිබූ ඉතා ප්‍රසන්න අද්දැකීමක් මා ඔබට කිව යුතුයි. අපි යුදෙව්වන් සහ බයිබල් ශිෂ්‍යයන් සමඟ ෂ්ටුට්හෝෆ් කඳවුරේ එකම ගොඩනැගිල්ලේ සිටියා. ඒ දවස්වල බයිබල් ශිෂ්‍යයන්ට ඉතා තද සීතලේ කඳවුරෙන් පිටත වෙහෙස මහන්සි වී වැඩ කරන්ට සිදු වුණා. ඔවුන් නොමැරී බේරුණේ කොහොමද කියලා අපට නම් සිතාගන්ටවත් බැරි වුණා. ඔවුන් කිව්වා යෙහෝවඃවහන්සේ ඔවුන්ට ශක්තිය දුන්නා කියලා. ඔවුන් හිටියේ හාමතෙන් නිසා ඔවුන්ට නියමිත වූ පාන් දැඩි ලෙස අවශ්‍යව තිබුණා. එහෙත් ඔවුන් කළේ කුමක්ද? ඔවුන්ට තිබූ ආහාර සියල්ල එකට එකතු කර ඉන් අඩක් ගෙන, ඉතිරිවා, වෙනත් කඳවුරුවලින් පැමිණ සිටි තද කුසගින්නේ පසුවූ ඔවුන්ගේ සහෝදරයන්ට, එනම් ආත්මික සහෝදරයන්ට දුන්නා. ඒ වගේම ඔවුන් ඒ අයව ඉතා සාදරයෙන් පිළිගෙන ඔවුන්ව සිප වැළඳගත්තා. ඔවුන් ආහාර ගැනීමට පෙර, යාච්ඤා කළා, ඉන්පසු ඔවුන්ගේ මුහුණු සතුටින් බැබළෙන්නට වුණා. ඔවුන් කිව්වා කිසිකෙනෙක් තවදුරටත් බඩගින්නේ සිටියේ නැහැ කියා. ඉතින්, බලන්න, ‘මේ නම් සැබෑ කිතු බැතියන්’ කියා මට සිතුණා. මට සෑමවිටම සිතුණු දෙයක් තමයි ඔවුන් එසේ විය යුතු බව. මෙහි ඖෂ්විට්ස්හි සිටින කුසගින්නෙන් පෙළෙන දයාබර සහෘදයන් වෙත එවන් සමාචාරයක් දීම කොතරම් කදිම වෙන්ට ඇද්ද!