රුවන්ඩාවේ අපගේ සහෝදරයන්ගේ ධෛර්යසම්පන්න ඇදහිල්ල
වර්ෂ 1994 මුල් භාගයේ අප්‍රිකානු රටක් වන රුවන්ඩාවෙන් පුළුල් පරිමාණයේ සමූලඝාතනයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් වෙත්ම ලෝකය මහත් කම්පාවට පත් විය. අතිදරුණු සිවිල් යුද්ධයක් අරඹා තිබුණි—එය ශතවර්ෂ ගණනාවක වෛරයේ උච්චාවස්ථාවක් විය.
නීතියේ හා විනයේ බිඳවැටීමකට මුහුණ දුන්, රුවන්ඩාවේ 2,000කට වැඩි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ජීවිත බේරා ගැනීම සඳහා පලා දුවන්ට සිදු විය. මින් 1,300ක් පමණ අසල ෂයරේ හා ටැන්සානියාවේ සරණාගත කඳවුරුවල ආරක්ෂාව ලැබුවද, ඇතැමෙකුට කල් ඇතිව බේරී පලායන්නට නොහැකි විය. ඇත්ත වශයෙන්ම බාල මහලු දෙපිරිසටම අයත් සාමාන්‍ය වැසියන් වන අපගේ සහෝදර සහෝදරියන් 400ක් පමණ එම උමතු සැහැසියාවෙන් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා කරන්නට අපි කනගාටු වන්නෙමු. ධෛර්යයෙන් යුක්තව අඛණ්ඩතාව පැවැත්වූ මොවුන්ගේ වියෝව ගැන ලෝක වාසී ක්‍රිස්තියානීහු වැලපෙන අතර, නැවත නැගිටීමක් පිළිබඳ බයිබලයේ පොරොන්දුවෙන් ඔවුහු සහනයක් ලබති.—යොහන් 11:25.
තවමත් ඉතිරිව සිටින රුවන්ඩානු සහෝදර සහෝදරියන්ට කුමක් සිදු වී ඇත්ද? සැබෑ තත්ත්වය පරීක්ෂා කර බැලීමට රටවල් ගණනාවකින් වැඩිමහල්ලන්ව එහි යවනු ලැබීය. එක් වාර්තාවක් පැවසුවේ රුවන්ඩානු සහෝදරයන් “මහත් ගෞරවයෙන් හා ධෛර්යයෙන් යුක්තව” තත්ත්වයට මුහුණ දී ඇති බවය. උදාහරණයක් වශයෙන්, සහෝදරයන් කළ මුල් ඉල්ලීම්වලින් එකක් වූයේ බයිබල් ප්රකාශනයන්වලටය. ‘ඔවුන්ට දේවල් බොහොමයක මූලික අවශ්‍යතාවක් තිබුණත්, ද්‍රව්‍යමය උපකාරය ලැබීමට වඩා ආත්මික ආහාරය ලැබීම ගැන ඔවුන් වැඩි සැලකිල්ලකින් සිටි බව පෙනේ’ යයි වාර්තාව නිගමනය කළේය. තවද කඳවුරුවල තත්ත්වය අශෝභනව තිබුණත්, ‘එහි පවිත්‍රම කොටස වූයේ අපගේ සහෝදරයන් සිටි තැනය.’
ආහාර, පොරෝනා, ඇඳුම්, පාවහන් හා බෙහෙත් මිල දී ගැනීමට අවශ්‍ය අරමුදල් මුරටැඹ සමිතියෙන් සපයා තිබුණි. ප්‍රංශයේ වෙසෙන අපගේ සහෝදරයන් නොමසුරුව ආධාර කළ අතර ජූනි මුල් භාගය වන විට, අවශ්‍යතාව තිබූ අපගේ රුවන්ඩානු සහෝදරයන්ට ටොන් දෙකක පමණ සැපයුම් නැව්ගත කරනු ලැබීය.
මෙම තත්ත්වයන් කදිම සාක්ෂියක් දීමට හේතු වීම පුදුමයක් නොවේ. රුවන්ඩාවේ අපගේ සහෝදරයන්ට මෙවන් උපකාරය හා අනුබලය ලැබුණේ සෙසු සාක්ෂිකරුවන්ගෙන් බවට වූ සිද්ධාන්තය නිරීක්ෂකයන්ගේ සිත්ගෙන ඇති අතර, මෙම උපකාරය අන්‍යයන් සමඟ බෙදාහදා ගැනීමට එනිසා හැකි වී ඇත. තමන්ගේ ආගමේ සාමාජිකයන් විසින් බැහැදකිනු ලැබූ කඳවුරේ සිටි එකම පිරිස සාක්ෂිකරුවන් බවද ඇතැමෙක් ප්‍රකාශ කර ඇත!
රුවන්ඩාවේ අපගේ සහෝදරයන්ගේ තත්ත්වය අපට සිහිගන්වන්නේ “අන්තිම දවස්වල,” ජනයා “කෲරයෝව” හා “සැහැසිකයෝව” සිටිනු ඇති බවය. (2 තිමෝති 3:1-5; ටුඩේයි’ස් ඉංග්ලිෂ් වර්ෂන්) තවද ශාරීරික අනතුරුවලින් ආශ්චර්යවත් ආරක්ෂාවක් ලබා දීමට යෙහෝවඃවහන්සේ සිය ජනතාවට පොරොන්දු නොකළත්, ඔවුන්ගේ ආත්මිකත්වයත් උන්වහන්සේ සමඟ තිබෙන සම්බන්ධතාව ආරක්ෂා කිරීමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ දැන් මියයන අයව නැවත නැගිටුවීමටත් උන්වහන්සේ පොරොන්දු වනසේක. (ගීතාවලිය 91:1-10) මෙම පරීක්ෂණාත්මක කාලය තුළ ඉතිරි වී සිටින අපගේ රුවන්ඩානු සහෝදරයන්ව යෙහෝවඃවහන්සේ උසුලා දරා උපකාර කරන හැටියට වූ යාච්ඤා ඔවුන් වෙනුවෙන් අපි දිගටම ඔප්පු කරමු.—ගීතාවලිය 46:1.