“මම පුදුමාකාර ලෙස සාදන ලද්දෙමි”
“මා පැමිණියේ කොහෙන්ද?” මෙය වනාහි යෞවන දරුවන් වැඩි දෙනෙක් කිසියම් අවස්ථාවකදී හෝ නඟන ප්රශ්නයකි. දරුවන් වැඩෙන විට, ඔවුන්ගේ මෙම ප්රශ්නය බොහෝ විට වඩාත් ගැඹුරු එකක් බවට පත්වෙයි: එනම්, “ජීවය පැමිණියේ කොහෙන්ද?” යන්නයි. මෙම ප්රශ්නය වසර දහස් ගණනක් පුරා සාකච්ඡා කොට ඇති අතර, වත්මන් බොහෝ විද්‍යාඥයන් දකින්නේ, ජීවයේ සම්භවය පිළිබඳ ප්රහේලිකාවට, වඩාත් සාධාරණ පිළිතුර වන්නේ පරිණාමවාදය බවයි. මූලික වශයෙන්, පරිණාමවාදීන්ගේ පැහැදිලි කිරීම වන්නේ, ජීවය පැමිණියේ අහම්බෙන් බවය.
මීට වසර 3000කට පමණ පෙර, දාවිත් රජ මෙසේ ලීවේය: “බිය උපදවන අන්දමින් මම පුදුමාකාර ලෙස සාදන ලද්දෙමි.” (ගීතාවලිය 139:14, NW) අප ජීවය ගැන වඩාත් උගනිත්ම, එම වචන තුළ තිබෙන සත්‍යතාව අපි වඩාත් දකින්නෙමු. ඇත්ත වශයෙන්ම, භෞතික විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් ලීවේ මෙසේයි: “ජීව රසායන විද්‍යාඥයන් විසින් ජීවයේ මවිත කරවන සංකීර්ණත්වය ගැන වඩ වඩාත් සොයා ගන්නවාත් සමඟම, එය අහම්බෙන් ඇති වීමේ හැකියාවන් කොතරම් අඩුව තිබෙනවාද කිවහොත් ඒවා සම්පූර්ණයෙන්ම අහක්කර දැමිය හැකි තරම්ය. ජීවය අහම්බෙන් ඇති වුණා විය නොහැකිය.”
එසේ නම්, ජීවයේ ආරම්භය වනුයේ කුමක්ද? මෙම සඟරාවේ ආරම්භක ලිපි දෙක මෙම ප්රශ්නය සාකච්ඡා කරයි. මේ පිළිබඳව ඔබ වැඩිදුර විස්තර දැනගැනීමට කැමති නම්, වොච්ටවර්, 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2 පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට කරුණාකර ලියන්න.