ආබ්‍රහම්—මෙහි භූමදාන කරන ලදි, නමුත් ජීවත්ව සිටියි?
සියවස් ගණනක් පුරා යුදෙව්වරුන්, මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානින් මෙම ස්ථානයට පැමිණ තිබේ.
යෙරුසලමට දකුණෙන්, පැරණි හෙබ්‍රොන් නගරය තුළ එය බැලීමට ඔබට යා හැක. මෙම ගොඩනැගිල්ල හඳුන්වනු ලබන්නේ හරිම් එල් චලිල් හා කුලදෙටුවන්ගේ සොහොන්ගෙය වශයෙන්ය. එසේය, මෙය වනාහි කුලදෙටු ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් මෙන්ම අනුපිළිවෙළින් ඔවුන්ගේ භාර්යාවන් වන සාරා, රෙබෙකා හා ලෙයා යන අයවලුන් භූමදාන කළ ස්ථානය වශයෙන් ප්රකටව පිළිගැනේ.
තමන්ගේ ආදරණීය බිරිඳ වන, සාරා මියගිය විට, ආබ්‍රහම් හෙබ්‍රොන් අසල, මක්පේලායේ භූමදාන ස්ථානයක් හැටියට ගුහාවක් හා යම් බිම් කැබැල්ලක් මිලදී ගත් බව බයිබලයෙන් සිහිකරන්න. (උත්පත්ති 23:2-20) පසුව, ආබ්‍රහම් මෙන්ම, වෙනත් පවුල් සාමාජිකයන්ද මෙහි භූමදාන කරන ලදි. ඉන් සියවස් ගණනකට පසුව, මහා හෙරොද් මෙම සම්ප්‍රදායික භූමදාන ස්ථානය වටා චමත්කාරජනක ගොඩනැගිල්ලක් ඉදිකළ අතර, යථා කාලයේදී, ජයග්‍රාහකයන් විසින් තමන්ගේ ආගමික විශ්වාස පිළිබිඹු කරමින් එය වෙනස්කොට, විශාල කරන ලදි.
ඇතුළුවීමේදී, වශීකස්තම්භ (ස්මාරක හෝ හිස් සොහොන්) හයක් ඔබ දකියි. මෙහි දක්වා ඇති කුඩා රූපයේ ආබ්‍රහම්ගේ පුත්‍ර, ඊසාක් සඳහා එක පෙන්වා තිබේ. එය අසල බිමෙහි සිදුරු තිබේ, එහි යට තිබෙන දෙයට ඇතුළුවීම සඳහා ඒවා භාවිතාකර තිබේ. පැරණි ඇටකටු අතිවිශාල සංඛ්‍යාවක් සමහරවිට තිබුණු බවට සැලකිය හැකි කුටි පර්යේෂණ කරන්නන්ට හමුවී තිබේ.
ආබ්‍රහම් ගැන කුමක් කිව හැකිද? දැන් මෙම ස්ථානයට යටින් තිබෙන ගුහාවක ඔහුව තැන්පත්කර තිබුණේ නම්, ඔහු බොහෝ කල් මියගොස් තිබේ, එසේ නොවේද? අමුත්තන් වැඩිදෙනෙකු එකඟවනු ඇත. එහෙත් ආබ්‍රහම්ට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකු පැවසුවේ යම් අර්ථයකින් ආබ්‍රහම් තවමත් ජීවත්ව සිටින බවය. ඒ කෙසේද? තවද ඔබගේ ඇදහිල්ලට මින් ඇති විය හැකි බලපෑම කුමක්ද?
“ඔබ ආදරය කරන මියගිය අය—ඔවුන් කොහේද?” යන ලිපිය කරුණාකර කියවන්න. (පිටුව 3) ආබ්‍රහම් ජීවත්ව සිටීම පිළිබඳව එම ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයා පැවසූ දෙය එය ඉදිරිපත් කරයි, එම තොරතුරු ඔබට හා ඔබගේ පවුලේ අයට ඉමහත් වටිනාකමක් විය හැක.