රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ඔහු අනුගමනය කළේ බයිබලය අනුව පුහුණු කරන ලද ඔහුගේ හෘදය සාක්ෂියයි
“මම [මගේ අඛණ්ඩතාව අනුව, NW] වනාහි නිර්දෝෂකමින් හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණාකළ මැනව” යයි ඉශ්රායෙලයේ දාවිත් රජ පැවසූ විට ඔහු අයැදිමින් සිටියේ යෙහෝවඃවහන්සේගේ උපකාරයයි. (ගීතාවලිය 26:11) සිය අඛණ්ඩතාව පැවැත්වීම වෙනුවෙන් දෙවියන්වහන්සේ ඔහුට අනුග්‍රහ දැක්වූ සේක. යේසුස්වහන්සේ සිය ස්වර්ගීය පියාණන්ගේ කැමැත්ත කළ බැවින් යෙහෝවඃවහන්සේ උන්වහන්සේටද ආශීර්වාද කළ අතර උන්වහන්සේ, බයිබලය අනුව පුහුණු කරන ලද සිය හෘදය සාක්ෂිය අනුගමනය කරමින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට අධිෂ්ඨාන කළ කොලොම්බියාවේ යෞවනයෙකුටද ආශීර්වාද කළ සේක. මෙම යෞවනයා මෙසේ පවසයි:
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ මා බයිබලය ඉගෙන ගැනීමට පටන් ගත් විට, මා කතෝලික පාසලක ශිෂ්‍යයෙකුව සිටියා. කෙසේවෙතත්, මා පූජාවට ගිය විට මගේ හෘදය සාක්ෂිය මට කරදර කළ බැවින්, මම (පූජකයෙක්ව සිටි) පාසලේ විදුහල්පති වෙතටත්, උපදේශාත්මක මඟ පෙන්වීම් දෙන්නා වෙතටත්, මගේ කණ්ඩායමේ ශිෂ්‍ය නායකයා වෙතටත් ගොසින්, පූජාවට යෑමෙන් වැළකී සිටීමට අවසර ඉල්ලුවා. එවිට මට අවසර දෙනු ලැබුවත්, සමහරෙක් ඊට සහභාගි වන්නට මට බල කරන්නට වෑයම් කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට මා බව්තීස්මය ලැබීමෙන් අනතුරුව එම පීඩනය වැඩි වුණා. මා පාසලෙන් නෙරපනු ලැබුවේ නම්, මාව ගෙදරින් පිට කරන බවට මගේ පියා තර්ජනය කළා. මා ගැන ඔහුගේ මනසේ තිබුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හා උසස් වෘත්තියක්.
“කතෝලික කොන්දේසි පිළිපැදීමට අසමත්වන ඕනෑම කෙනෙක් පිළිබඳව විදුහල්පති පුන පුනා අනතුරු ඇඟවීම් ඉදිරිපත් කළා. වසරේ පළමු පූජාව සඳහා අවස්ථාව එළඹුණ විට, එය අවසන් වනතෙක් මම සැඟවී සිටියා. අනතුරුව (පූජකයෙක්වූ) ගුරුවරයාට ස්කූල් ඇන්ඩ් ජෙහෝවාස් විට්නසස් නම් විවරණිකාවේ පිටපතක් දුන් මම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට මට පූජාවට පැමිණිය නොහැකි බව කියා සිටියා. ඔහු කීවේ: ‘ඔබ වෙනත් පාසලක් සෙව්වොත් වඩාත් හොඳයි’ යනුවෙනි. පාසලෙන් නෙරපනු ලැබුවොත් මගේ පියා නිවසින් මාව පිටමං කරන බව මම දැන සිටියා. එසේදවුවත්, මම යෙහෝවඃවහන්සේට යාච්ඤා කළ අතර මගේ පාසලේ ශිෂ්‍යයන්ට දිගටම බලවත් සාක්ෂියක් දෙමින් සිටියා.
‘නිවාඩු කාලය එළඹුණා. නිවාඩු කාලයෙන් පසු පාසලට හැරී ගිය විට, පූජාව සඳහා යළිත් අවස්ථාව පැමිණියා. විදුහල්පති හා වෙනත් පූජකයෝ පාපෝච්චාරණය සඳහා සූදානමින්, පාසලේ ඇති කුඩා පල්ලිය ඉදිරිපස සිටියා. මා සිටියේ මහත් භයකින්. මම ඇතුළට ගොස් අසුන් ගත්තද, මගේ හෘදය සාක්ෂිය මට කරදර කරන්නට වුණා. ගායනය පටන් ගත්විට, මා මෙහි කරමින් සිටින්නේ කුමක්ද? කියා මා කල්පනා කරන්නට පටන්ගත්තා. මගේ දෙවියන්ව සිටින්නේ යෙහෝවඃවහන්සේය, මට බියගුල්ලෙක් හැටියට කටයුතු කර උන්වහන්සේට ද්‍රෝහිකම් කළ නොහැකියි. මට උන්වහන්සේව මඟ හරින්නට නොහැකියි. උන්වහන්සේ මාව අත්හරින එකක් නැහැ. මම ධෛර්යය ඉල්ලා යාච්ඤා කළා. අනතුරුව, මම දේවස්ථානයෙන් පිටත්වී පාපෝච්චාරණයට යන පේළියේ සිට ගත්තා. මා විදුහල්පති වෙතට පැමිණි විට, මම ඔහුට මෙසේ කීවා: “ගුරුතුමාණෙනි, මම පාපෝච්චාරණය කරන්නට එන්නේ නැහැ.’ එවිට ඔහු කීවේ ‘මම එහෙම හිතුවා’ යනුවෙනි. එහි එලවිපාක විඳින්නට මා කැමැත්තෙන් සිටියත් පූජාවට හවුල්වීමට මාගේ හෘදය සාක්ෂිය මට ඉඩ නොදෙන බව මා ඔහුට කියා සිටියා. බයිබලයෙන් මා ඉගෙන තිබූ දේවලට එරෙහිව මට කටයුතු කළ නොහැකි වුණා.
‘ඔහු මා දෙස තද බැල්මක් හෙළා, මද සිනාවකින් යුක්තව කීවේ මෙසේයි: ‘මම ඔබ ගැන ආඩම්බර වෙනවා. සාක්ෂිකරුවන් වන ඔබ සියල්ලන්ම සිටින්නේ අගය කිරීමට වටිනා තත්ත්වයකයි. ඔබට වැඩි වැදගත්කමක් ගන්නේ දෙවියන්වහන්සේයි, එමෙන්ම විපාකය කුමක් වුවත් ඔබ උන්වහන්සේගේ පනත්වලට කීකරු වෙන්න සූදානම්. දිගටම එසේ කරන්න. ඔබගේ ස්ථාවරය ඉතා හොඳයි. මම කැමතියි කතෝලික සියලු දෙනාත් දෙවියන්වහන්සේ සඳහා එවන් ජ්වලිතයක්, එවන් ප්‍රේමයක් විදහා පෙන්වනවා නම්. මෙතැන් පටන්, අපගේ ආගමික සේවාවන්ට සහභාගි නොවී සිටින්නට ඔබට නිදහස තිබෙනවා.’ මට දැණුනේ කොතරම් ප්‍රීතියක්ද! බයිබලය අනුව පුහුණු කරන ලද මගේ හෘදය සාක්ෂියට කීකරු වීමට වූ මාගේ අධිෂ්ඨානයට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කර තිබුණා.
“ඊළඟ දවසේ විදුහල්පති ශිෂ්‍යයන්ට මෙසේ පැවසුවා: ‘අනෙක් ආගම් සිටින්නේ අපට වඩා ඉදිරියෙන්. දෙවියන්වහන්සේ සඳහා ගැඹුරු ප්‍රේමයක්ද අන්සියල්ලට වඩා උන්වහන්සේට සේවය කිරීමට ආශාවක්ද සමඟින්, අප ඔවුන් මෙන් ජ්වලිත නොවන්නේ මන්ද? මෙය අපගේ හෘදයේ තිබිය යුතු යමකි.’
“අන්තිමේදී එම විදුහල්පතිව රෝමයට ස්ථාන මාරු කරන ලද අතර, මා හවුල් නොවීම ගැන පැමිණි අලුත් විදුහල්පතිවරයා සැලකිල්ලක් දැක්වූයේ නැහැ. පාසලෙන් සමත් වීමෙන් පසු පූර්ණ-කාලීන දේව සේවය පිළිබඳ මාගේ ඉලක්කය අත්කර ගැනීමට මට අවකාශය සලසමින්, මගේ පියා නිවසෙන් පිටව ගියා.”
බයිබලය අනුව පුහුණු කරන ලද සිය හෘදය සාක්ෂිය අනුගමනය කළ මෙම යෞවන තැනැත්තාට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කළ සේක. තමන්වහන්සේගේ කැමැත්ත කිරීමට සොයන්නාවූ සියල්ලන්ට උන්වහන්සේ සමානාකාරයෙන් ආශීර්වාද කරනු ඇත.—හිතෝපදේශ 3:5, 6.