“සරදම් කිරීමට පෙර අපි තවත් වැඩියෙන් කියවමු”
නවසීලන්තයේ කෙනෙක් ඔබ කියවමින් සිටින මුරටැඹ සඟරාව ගැන කීවේ එයයි. එසකියෙල් 1වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන දෙවියන්වහන්සේගේ ස්වර්ගික රථය පිළිබඳව එම තැනැත්තා ලීවේ මෙසේය:
“මෙම ජීවමාන සත්ත්වයන්, නැතහොත් කෙරුබ්වරුන් සතරදෙනාගෙන් සෑම කෙනෙකුටම මුහුණු සතරක්ද පියාපත් සතරක්ද තිබුණේය. ඔවුන්ට යෙහෝවඃ වහන්සේගේ යුක්තිය දක්වමින් සිංහ මුහුණක්ද; දෙවියන් වහන්සේගේ බලය නියෝජනය කරමින් ගව මුහුණක්ද; උන්වහන්සේගේ ප්‍රඥාව අඟවමින් රාජාලි මුහුණක්ද; යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය නියෝජනය කරමින් මනුෂ්‍ය මුහුණක්ද තිබුණේය.
“මෙය නැවත නැවතත් කියවීමෙන් පසු, මගේ හෘදය ඇතුළේ මට උණුසුම් හැඟීමක් ඇති වුණා. ප්‍රීතියේ කඳුළුවලින් මගේ නෙත් පිරී ගියා. මට එකවරම කල්පනා වුණේ, ‘යෙහෝවඃවහන්ස, ඔබ කොතරම් අලංකාරවත් හා ප්‍රසන්න විය යුතුද!’ ලෞකික පුද්ගලයෙක් වන මා, වසර ගණනාවක් පුරා සරදම් කර ඇති මෙම යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි මෙවන් අලුත් හැඟීම් ඇති වීම ගැන මම අතිශයින් විස්මපත් වෙනවා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අමතමින් “ඔබට ස්තුති” යයි පවසන මා, මගේ ආකල්පය දරන බොහෝ දෙනාට කියා සිටින්නේ, ‘සරදම් කරන්නට කලින් අපි තවත් වැඩියෙන් කියවමු’ යනුවෙනි.”