පාඨකයන්ගෙන් ප්‍රශ්න
“මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමැතිවෙමි” කියා රෝම 9:3 හි ප්‍රේරිත පාවුල් ලීවේ ය. ඔහු අදහස් කළේ සෙසු යුදෙව්වන් බේරා ගැනීමට ඔහු තමාගේ ජීවිතය කැප කරන බව ද?
යේසුස් වහන්සේ ප්‍රේමය පිළිබඳ අත්‍යුත්කෘෂ්ට ආදර්ශය තැබූ සේක. පව්කාර මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උන් වහන්සේ තමන්ගේ ප්‍රාණය, නැතහොත් ජීවිතය පිදීමට කැමති වූ සේක. තමන්ගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගන්නා අය අතර හැකි තරම් අය සිටිනු පිණිස—යුදෙව්වන් එනම් සිය ස්වදේශිකයින් වෙනුවෙන් ප්‍රසිද්ධ දේව සේවය තුළ, උන් වහන්සේ තමන් ව යෙදවූ සේක. (මාර්ක් 6:30-34) ගැලවීමේ පණිවුඩයට ඔවුන්ගේ අහිතකර ප්‍රතිචාරය හා විරුද්ධත්වය, කිසිකලෙක යුදෙව් ජනයා සඳහා යේසුස් වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල හීන කළේ නැත. (මතෙව් 23:37) තව ද උන් වහන්සේගේ “අඩි පාරේ යන පිණිස” උන් වහන්සේ අපට ‘ආදර්ශයක්’ දී ගිය සේක.—1 පේතෘස් 2:21.
අසම්පූර්ණ මනුෂ්‍යයන් හට ප්‍රේමය පිළිබඳ යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැකි ද? එසේ ය, තව ද මේ පිළිබඳ නිරූපනයක් අපට ප්‍රේරිත පාවුල් තුළින් දැකබලා ගන්නට ද පුළුවන. ඔහු සෙසු යුදෙව්වන් පිළිබඳ ව කොතරම් සැලකිලිමත් වූයේදයත්, ඔවුනට තිබූ ප්‍රේමය නිසා, ඔවුන් වෙනුවෙන් “ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි” යයි ඔහු පැවසී ය.
පාවුල් මෙහි දී සිය කරුණ අවධාරණය කරන්නට යම් ආකාරයක අත්‍යුක්තියක්, නැතහොත් අතිශයෝක්තියක් යොදා ගත්තේ ය. මතෙව් 5:18 හි යේසුස් වහන්සේ සමාන අතිශයෝක්තියක් පාවිච්චි කළ සේක. උන් වහන්සේ ඒ අවස්ථාවේ වදාළේ: “අහසත් පොළොවත් පහව යනතෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොවන්නේය” යනුවෙනි. අහසත් පොළොවත් පහව නොයන බව යේසුස් වහන්සේ දැන සිටි සේක. එසේ ම පාවුල් ශාප ලද්දෙක් වන්නට යන්නේවත්, සියලු යුදෙව්වන් ක්‍රිස්තියානි ධර්මය පිළිගන්නට යන්නේවත් නැත. එහෙත් පාවුල් ගෙනහැර දැක් වූ කරුණ වූයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් වූ දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගය යුදෙව්වන්ට ලබා ගන්නට උපකාර කිරීමට තමා ඇත්ත වශයෙන් ම ඕනෑ ම දෙයක් කරන්නට කැමති බව ය. “මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගනිල්ලා” කියා සෙසු ක්‍රිස්තියානින්ට එම ප්‍රේරිතයා දිරිගැන්වීම පුදුමයක් නොවේ.—1 කොරින්ති 11:1.
අද දවසේ ක්‍රිස්තියානින් ද යේසුස් වහන්සේ හා පාවුල් නොඇදහිලිකාරයින් සඳහා දැක් වූ එම සැලකිල්ල ම පෙන්විය යුතු ය. අප සාක්ෂි දරන ක්ෂේත්‍රයේ සිටින ජනයාගේ උනන්දුව නොමැතිකම හෝ ඍජු විරුද්ධවාදිකම්වලට, අපගේ අසල්වැසි ප්‍රේමය හීන කරවන්නට හෝ ගැලවීමේ මාර්ගය ඉගෙන ගන්නට ඔවුනට උපකාර කිරීමේ අපගේ ජ්වලිතය අඩු කරන්නට හෝ අප කිසිවිටෙකත් ඉඩ නෑරිය යුතු ය.—මතෙව් 22:39.