රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
අවංකකම අපගේ දේව සේවයේ දියුණුවට දායක වෙයි
අවංකකම ක්‍රිස්තියානින් සඳහා මූලික අවශ්‍යතාවයකි. හෙබ්‍රෙව් 13:18 හි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “අපි සියල්ලේදී යහපත්ලෙස [අවංක ලෙස NW] හැසිරෙන්ට ආශාවෙන්, යහපත් [අවංක NW] හෘදය සාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.” අප අවංකකම ක්‍රියාවට නැගීමෙන් ‘අපේ ගැළවුම්කරුවාණන් වන දෙවියන් වහන්සේගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර’ කරනු ඇත. (තීතස් 2:9) දකුණු පැසිෆික් හි ටොංගා රාජධානියේ, දේශනා කිරීමත්, ක්‍රිස්තියානින් දෙදෙනෙකුගේ රාජ්‍යය අවංකකමත්, බලගතු සාක්ෂියක් ඉදිරිපත් කරමින් තිබේ. බටහිර සැමෝවා හි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය මෙසේ වාර්තා කරයි:
“වසර ගණනාවකට සාක්ෂිකාර යුවළක් තමන්ගේ දූපතේ ඇති ගම් හතරේ ජනයාට දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කථා කළ ද, ඉන් කිසිදු දෘශ්‍යමාන ප්‍රතිඵලයක් ඇති නොවී ය. පසු ව, සිය ස්වාමිපුරුෂයා රෝගාතුර ව සිටි අතර භාර්යාවට ඔවුන්ගේ වගාව බලා ගැනීමටත්, ඔවුන්ගේ එක ම ආදායම් මාර්ගය වූ කොප්පරා කපා වේලීමටත් සිදු විය. ගැනුම්කරුවන්ට කොප්පරා පරීක්ෂා කිරීමට අවස්ථාව පැමිණි විට, වෙනත් යමෙකුගේ මල්ලක් ඇයගේ මලු පහට වැරැද්දකින් එකතු වී තිබුණි. එසේ ලැබුණු අතිරේක මල්ල තමා සමඟ තබා ගන්නා ලෙසත්, එය දෙවියන් වහන්සේගෙන් ලැබුණු ආශීර්වාදයක් හැටියට සලකන ලෙසත් ගැමියන් ඇයගෙන් ඉල්ලා සිටියහ. එම සහෝදරිය, කෙසේ නමුත්, ඊට අකමැති වී, මලු හයක් සඳහා ගෙවීම් ලබන විට, ඇයට ලැබිය යුතු නියම මුදල පමණක් පිළිගත්තා ය. ඇයගේ අවංකකම සියල්ලන්ගේ සැලකිල්ලට භාජනය විය.
“පසු අවස්ථාවක, ඇගේ ස්වාමිපුරුෂයා වෙනත් දූපතකට ගමනක් යන්නට සිටි විට, ගබඩාකරුවෙක් සමහරක් දෑ තමාට මිල දී ගෙනෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. එම සාක්ෂිකරුවා ඉල්ලා සිටි ආකාරයට ඒවා ගෙනැවිත් ඉතිරි මුදල් එම මිනිසාට දුන්නේ ය. එවිට එම මනුෂ්‍යයා පුදුමයට පත් විය. තමාට යමෙක් ඉතිරි මුදල් ගෙනැවිත් දුන් පළමු අවස්ථාව මේ යයි ඒ මිනිසා කීවේ ය. තමා බඩු ගෙනෙන ලෙස කී අනෙක් අය නිතර ම ඉතිරි මුදල් තමන් සමඟ තබා ගත්හ. වෙනත් අවස්ථාවක, මෙම සාක්ෂිකරුවාට මෙම මනුෂ්‍යයාගේ වෙළෙඳ පොළෙන් යමක් අවශ්‍ය වූ විට, එම මිනිසා ඔහුට වෙළෙඳ සලේ යතුර දී තමාට අවශ්‍ය දේ ලබා ගෙන මුදල් එම වෙළෙඳ සලේ තබන ලෙස උපදෙස් දුන්නේ ය. එහි සිටි වෙනත් අය, ඔහු සාක්ෂිකරුවාට යතුර දීමටත් ඔවුන්ට නොදීමටත් හේතුව එම වෙළෙඳ සල් හිමියාගෙන් විමසුවේ ය. තමාට එම ගමේ විශ්වාස කළ හැකි එක ම තැනැත්තා එම සාක්ෂිකරුවා යයි එම අයිතිකරුවා පැහැදිලි කළේ ය.
“මෙම යුවළගේ කදිම හැසිරීම ගැමියන් අතර සාකච්ඡා වෙමින් පවතී. සාක්ෂිකරුවන් තමන්ගේ අවංකකමට, දේශපාලනයේ තමන්ගේ මධ්‍යස්ථ භාවයට, හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ ඔවුන්ගේ සාක්ෂි දැරීමට ප්‍රසිද්ධ ව සිටින අතර, මෙය එම ගැමියන්ගේ විශ්වාසයේ හා බයිබලයේ ඉගැන්වීම් අතර වෙනස පෙන්වයි. දැන් බයිබලය සම්බන්ධ ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හි, පිළිතුරු සඳහා ජනයා බොහෝ විට එම සාක්ෂිකරුවන් සොයා එති. ස්වාමිපුරුෂයා රාත්‍රියේ පවා ඇඳෙන් නැගිට, ගමේ රැස්වීමකට සහභාගි වී, බයිබල් විෂයක් සම්බන්ධයෙන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත. ගමේ අවමංගල උත්සවවලට සහභාගි වන විට, බයිබලය මරණය ගැන පවසන දෙය පෙන්වන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති අතර ඔහුගේ අදහස් පිළිගෙන ඇත.”
මෙසේ මෙම සාක්ෂිකාර යුවළගේ අවංකකමත් ඔවුන්ගේ රාජ්‍යය දේශනයත් මෙම දකුණු පැසිෆික් දිවයිනේ හොඳ සාක්ෂියක් දරමින් තිබේ. අන්‍යයන් ද බයිබලය ඉගෙන ගෙන සත්‍යය සඳහා ස්ථාවරයක් ගනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. ඔවුන් එසේ කළොත්, යෙහෝවඃ දෙවියන් වහන්සේ ඔවුන්ට නිසැක ව ම ආශීර්වාද කරනු ඇත.—යොහන් 8:32.