දෙළුම් ජයකොන්තය යෙහෝවඃ වහන්සේගේ ගෘහයෙන් ද?
ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යාඥයෝ කළ කැණීම්වල දී බලයේ සිටි පුද්ගලයන් විසින් ගෙන යන ලද ජයකොන්ත, යදඬු බොහොමයක් සොයා ගෙන ඇත්තාහ. (උත්පත්ති 49:10; එස්තර් 8:4; එසකියෙල් 19:14) ලාකීෂ් හි සොයා ගන්නා ලද ජයකොන්ත සමහරක දෙළුම් ගෙඩියේ හැඩයෙන් යුත් හිසක් තිබුණි. දෙවියන් වහන්සේගේ ජනයා මෙම පළතුර හොඳින් දැන සිටියහ.—ද්විතීය කථාව 8:8; සාලමොන්ගේ ගීතිකාව 4:13.
වම් පැත්තේ ඇති, මල් හටගන්නා තත්ත්වයේ පවතින ඇත් දතින් කළ දෙළුම් ගෙඩිය, මෑතක සොයා ගනු ලැබූවකි. එය අඟල් 1.68ක් උස් වන අතර එහි පාමුල ඇති කුහරය එය ජයකොන්තයක කොටසක් ව තිබූ බව අඟවයි. පොදු යුගයට පෙර අටවන ශතවර්ෂයේ යයි ගණන් බලා ඇති මෙහි මුල් හෙබ්‍රෙව් ශෛලියෙන් කොටා ඇති අක්ෂර සැලකිල්ලට ගන්න.
මෙම ඇත් දතේ කොටසක් පුරාතන කාලයේ කැඩී ගිය බැවින්, අක්ෂරවලින් කීපයක් දක්නට නොලැබේ, නැතහොත් දක්නට ඇත්තේ කොටසකි. එහෙත්, පුරාතන ලේඛන ශෛලිය පිළිබඳ විශාරදයෝ එය පහත ඇඳ ඇති ආකාරයට තිබෙන්නට ඇතැයි යෝජනා කරති. (බිබ්ලිකල් ආකියොලජිස්ට් නම් සඟරාවට මත පදනම් ව) අකුරු අතර අවිධිමත් පරතරය මූලික කියවීම් දෙකකට මඟ පෙන්වා ඇත. ප්‍රංශ ජාතික පඬිවර ඕන්ඩ්රේ ලමර්, එහි මෙසේ කියවන්නට ඇතැයි පවසයි: “ස්[වාමි] වූ [යාවේගේ] මා[ලිගාවට] අයත් ය, පූජකයන්ට පරිශුද්ධ ය.” නාහ්මන් අවිගාඩ් මෙසේ යෝජනා කළේ ය: “යාවේගේ ගෘහයේ (සිටින) පූජකයන් සඳහා පරිශුද්ධ පරිත්‍යාගයකි.”
ඔවුන් හා වෙනත් පඬිවරු එම ජයකොන්තය මුලින් ම දෙවියන් වහන්සේගේ පුද්ගලික නාමයේ—යෙහෝවඃ හි—හෙබ්‍රෙව් අක්ෂර හතර දැරී යයි නිගමනය කළෝ ය. එනිසා එහි බයිබලයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන වාක්‍ය ඛණ්ඩයක් වන “යෙහෝවඃ වහන්සේගේ ගෘහය” යනුවෙන් සඳහන් ව තිබෙන්නට ඇත.—නික්මයාම 23:19, NW; 1 රාජාවලිය 8:10, 11.
මෙම ජයකොන්තය හිස සාලමොන් ගොඩනැඟූ දේවමාලිගාවේ පූජකයන් විසින් දරන්නට ඇතැයි නොඑසේ නම්, එය එම දේවමාලිගාවට පරිත්‍යාග කරන්නට ඇතැයි බොහෝ දෙනෙකුට තවමත් හැඟේ. මෙහිලා වැදගත් කරුණ වනුයේ, දෙළුම් ගෙඩියේ මෝස්තරය නිතර දෙවියන් වහන්සේගේ දේවමාලිගාවේ දැකිය හැකි වීම ය.—නික්මයාම 28:31-35; 1 රාජාවලිය 7:15-20.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Israel Museum, Jerusalem