බයිබලය නූතන මිනිසාට ප්‍රායෝගික මාර්ගෝපදේශය
බයිබල් ඉගැන්වීම්, ආදර්ශයන් සහ මූල ධර්ම නූතන මිනිසා සඳහා වඩාත් ප්‍රායෝගික වෙයි. මෙම පොතේ අඩංගු වන්නා වූ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සහ උසස් සදාචාර ප්‍රමිති, වෙනත් පොත්වලට වඩා බොහෝ සෙයින් මෙය උසස් කොට තබයි. බයිබලය වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා පමණක් නොව, නමුත් බොහෝ ප්‍රායෝගික යෝජනා ද සපයයි, මේවා අනුගමනය කරනු ලැබුවහොත්, පොළොවේ ජනගහණයේ කායික හා මානසික සෞඛ්‍ය නංවාලීමට බොහෝ සෙයින් දායක වනු ඇත.
සාධාරණ ව්‍යාපාර කටයුතුවල දී ඍජු නියමයක් සේ ක්‍රියා කරන්නා වූ, හරි දේ සහ වැරදි දේ පිළිබඳ ප්‍රතිපත්තිය බයිබලයේ නියම කොට තිබේ: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. (මතෙව් 7:12) ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ උපදෙස් දුණි: “දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.”—හිතෝපදේශ 22:22, 23.
කඩිසරකම හා පිරිසිදු සදාචාර හැසිරීම දේවානුභාවය ලත් වචනයේ මූලික ව විශේෂ කොට හුවා දක්වා තිබේ. ප්‍රේරිත පාවුල් අනුශාසනා කළේ මෙසේ ය: “පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්, අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණ බලාගන්න මෙන්ද, නුඹලාගේ ම අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.” (1 තෙසලෝනික 4:11, 12) “ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; . . . නුමුත් ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ NW] ඉවසිලිවන්තකම, කරුණවන්තකම, යහපත්කම, විශ්වාසකම, [ඇදහිල්ල NW] මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම [ආත්ම දමනය NW] යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.”—ගලාති 5:19-23.
මෙම අනතුරු ඇඟවීම ද සැලකිල්ලට ගන්න: “නොරැවටෙල්ලා, නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) “ඤාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඤාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය” යන අවවාදයට අප අවනත වීම මොනතරම් වැදගත් වේ ද!—හිතෝපදේශ 13:20.
බයිබලය වනාහි පවුල් සබඳතා ගැන හොඳ ම අවවාද අඩංගු වන ග්රන්ථයකි. (ද්විතීය කථාව 6:4-9; එපීස 5:21-33) එසේ නම්, සුප්‍රකට අධ්‍යාපනවේදියෙකු වූ විලියම් ලියොන් ෆෙල්ප්ස් වරෙක මෙසේ පැවසීම ගැන පුදුම වන්නට දෙයක් නැත: “බයිබලයක් නොමැති ව ලබන පාසල් අධ්‍යයන පාඨමාලාවකට වඩා පාසල් අධ්‍යයන පාඨමාලාවක් නොමැති ව ලබන බයිබල් දැනුම වඩාත් වටින බවට මම විශ්වාස කරමි.” බයිබලය සම්බන්ධයෙන් ජෝන් කවින්සි ඇඩම්ස් ලීවේ මෙසේ ය: “මිනිසුන් ව බොහෝ සෙයින් යහපත් කිරීමට, ඥානවන්ත කිරීමට සහ සන්තෝෂවත් කිරීමට දායක වන ලෝකයේ පොත් සියල්ලෙන් ම පොත එයයි.” එය ඔබගේ මාර්ගෝපදේශය කරගන්න, එමෙන් ම එය ඔබට කොතරම් ප්‍රායෝගිකදැයි සොයා ගන්න!