“කෙතේ මානෙල්”
විරැකියාව, මිල ගණන් ඉහ යාම, දිළිඳුකම, ආර්ථික පරිහානිය. මෙම වචන පුවත් පත් සිරස්තලවල දක්නට ලැබෙන වාර ගණන එන්ට එන්ට ම වැඩි වෙයි. ඉන් පිළිබිඹු කරන්නේ, මිලියන ගණනක් ජනයා, තමන්ගේ පවුල් පෝෂණය කරන්නටත්, වස්ත්‍ර ලබා දෙන්නටත්, එමෙන් ම හිසට වහලක් තබා ගැනීමටත් ප්‍රයත්න දරනවාත් සමඟ ම, ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ය.
ඇදහිලිවන්තයන් සහ නොඇදහිලිවන්තයන් යන දෙපාර්ශ්වය ම එක හා සමාන ව බලපෑමට හසු වෙයි. එහෙත්, මෙම ගැටලුවලට මුහුණ පෑමේ දී, ඇදහිලිවන්තයන් තනි වී නොමැත. යේසුස් වහන්සේ, පළමු සියවසේ යටහත් පහත් ජනයා හට කථා කරන විට, මෙසේ පැවසූ සේක: “අහසේ කුරුල්ලන් දෙස ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කරන්න, මන්දයත් ඔවුන් වපුරන්නේ හෝ කපා ගන්නේ හෝ ගබඩා ගෙවල්වලට එක්රැස් කරන්නේ හෝ නැත; තවමත් ඔබගේ ස්වර්ගික පියාණන් ඔවුන් ව පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ සෙයින් වටින්නේ නැත් ද?”—මතෙව් 6:26, NW.
යේසුස් වහන්සේ මෙසේ ද පැවසූ සේක: “කෙතේ මානෙල් වැඩෙන ආකාරයෙන් පාඩමක් ඉගෙන ගන්න; ඒවා වෙහෙසෙන්නේ නැත, ඒවා නූල් කටින්නේවත් නැත; නමුත් සාලමොන්වත් ඔහුගේ සියලු තේජස ඇති ව සැරසී සිටිද්දී මේවායින් එකක් මෙන් පැළඳ ගෙන සිටියේ නැති බව මම ඔබට කියමි. එසේ නම්, දැන්, දෙවියන් වහන්සේ කෙතේ වෘක්ෂලතාදිය මෙසේ පළඳවන සේක් නම්, . . . ඔබ ව ඊට වඩා බොහෝ සෙයින් පළඳ වන්නේ නැත් ද?”—මතෙව් 6:28-30, NW.
මින් අදහස් කරන්නේ, ක්‍රිස්තියානියෙක් ජීවත්වීම සඳහා වැඩ කරන්නට අවශ්‍ය නොවන බව ද? කොහෙත් ම නැත! ක්‍රිස්තියානියෙක් තමාගේ ජීවිකාව සඳහා අවශ්‍ය තරමට වෙහෙස මහන්සි වී වැඩ කරයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසී ය: “යමෙකුට වැඩ කරන්නට වුවමනා නොවේ නම්, ඔහු කෑම නොකා සිටීවා.” (2 තෙසලෝනික 3:10) ඒ කෙසේ නමුත්, ක්‍රිස්තියානියෙක් දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල ගැන සාවධාන ව සිටින අතර, තම ස්වර්ගික පියාණන් තමා ව රැකබලා ගන්නා බවට ඇදහිල්ල තබයි. මේ අයුරින්, ජීවිතයේ කාංසාවන් මගින් ඔහුගේ සමබරතාවය බිඳී යන්නේ නැත. දුෂ්කර කාලවල දී පවා, ඔහු පළමු තැනට තබන්නේ වැදගත් දේවල් ය, එනම් ආත්මික දේවල් ය. ඔහු යේසුස් වහන්සේගේ මෙම වදන් විශ්වාස කරයි: “එසේ නම්, පළමු කොට රාජ්‍යය සහ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දිගට ම සොයමින් සිටින්න, එවිට මේ අනෙකුත් සියලු දේවල් ඔබ හට එකතු කරනු ලබනවා ඇත.”—මතෙව් 6:33, NW.