‘නම්ය සුලු ඇදහිල්ලකින් යුත්’ ආගම
“නිදහස් ප්රජාතන්ත්රවාදි සහ ඒකාධිපති සමාජයන්ට පය තැබීමට මෝමන්වරුන්ට තිබෙන හැකියාව පුදුමාකාර ය.” ද වෝල් ස්ට්‍රීට් ජර්නල් මෙසේ නිරීක්ෂණය කළේ, හංගේරියානු ආණ්ඩුව විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසුකාලීන සාන්තුවරයන්ගේ පල්ලියට පූර්ණ පිළිගැනීම දානය කරනු ලැබූ අවස්ථාවේ දී ය. පල්ලිය මෙය අත්කර ගත්තේ කෙසේ ද? ජර්නල් පුවත්පත පවසන පරිදි, “මීට මූලික හේතුව නම්, මෝමන්වරුන්ගේ ඉහළ උපත් සංඛ්‍යාව හෝ ආක්රමණකාරී ලෙස ඔවුන්ගේ ශුභාරංචිය පැතිර වීම හෝ නොවේ, ඒ වෙනුවට, ඔවුන්ගේ ඇදහිල්ල තුළ ගොඩ නැඟී තිබෙන නම්ය භාවයයි.” ඒ කෙසේ ද?
නැගෙනහිර යුරෝපයේ මෑතක දී සිදුවුනු දේශපාලනික වෙනස්කම්වලට පෙර කාල පරිච්ඡේදය ගැන කථා කරමින්, ජර්නල් මෙසේ පැවසී ය: “බ්‍රිග්හම් තරුණ සරසවියෙන් සංගීත හා නැටුම් කණ්ඩායම් යොදා ගනිමින්, බොහෝ කොමියුනිස්ට් රටවල මිෂනාරිවරුන් මුහුණ පාන අවහිරතාවය හා සහයෝගිතාවය නැතිකම මඟ හැරීමට මෝමන්වරු හැකියාව ලැබ සිටිති.” රුමේනියාව, චෙකෝස්ලොවෙකියාව, හංගේරියාව, පෝලන්තය, රුසියාව, සහ චීනය, මෙන් ම සවුදි අරාබිය, ලිබියාව, ඊජිප්තුව, ජොර්දානය, සෝමාලියාව, සහ ඊශ්‍රායලය යන රටවලට ඔවුන්ගේ නාට්‍ය කණ්ඩායම් යවා තිබේ. එපමණක් ද නොව, “මාක්ස්වාදි සහ තුන්වන ලෝකයේ රටවල් තුළට ඇතුළු වීම සඳහා, මෝමන් පල්ලියේ ධනය ද තල්ලුවක් සේ යොදා ගනු ලැබ තිබේ.” වේලි සෑදීම හා නල ළිං සෑදීම මෝමන්වරුන්ගේ පරිත්‍යාග මගින් සිදු කෙරෙන ව්‍යාපෘති අතර වෙයි.
අද දින වින්දනයට ඇලුම් කරන, මුදලට කෑදර ලෝකය තුළ, නැටුම්-ගැයුම් බඳු මුලා කරවන සුලු උපක්‍රම හා ආගමට හරවා ගැනීම සඳහා මූල්‍යමය ආධාර දීම වැනි උපක්‍රම දැඩි ලෙස සිත් ඇදගන්නා සුලු වීම පුදුමයක් නොවේ. (2 තිමෝති 3:2, 4) එහෙත්, සැබෑවට ම බැටළු ගුණැති අය ඇදී යන්නේ, මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කටහඬට ය. (යොහන් 10:27) “සියලු ජාතීන් ගෝලයන් කරන” මෙන් උන් වහන්සේ තම ගෝලයන්ට වදාළ විට, ‘උන් වහන්සේ විසින් අණ කළ සියල්ල ම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න’ කියා උන් වහන්සේ පැවසුවා මිස, ඕනෑ ම උපක්‍රමයකින් හෝ ඕනෑ ම වියදමකින් එය කරන්නට කියා පැවසුවේ නැත. (මතෙව් 28:19, 20) මෙම පැවරුම කරගෙන යාමේ දී, බයිබල් ප්‍රමිති පාවා දීමට කිසි ම ඉඩක් නැත. w92 4/1