පාලක මණ්ඩලයෙන් ලියුමක්
ආදර සහෝදර සහෝදරියනි,
යෙහෝවාට නමස්කාර කරන අපි දේවවචනය වන බයිබලයට ගොඩක් ආදරේ කරනවා. ඒකේ තියෙන ඉතිහාස වාර්තා ඇත්තයි කියලත් අපේ ජීවිතේට ඕන කරන මඟ පෙන්වීම් ඒකේ තියෙනවා කියලත් මිනිස්සු ගැන දෙවියන්ට තියෙන ආදරේ ඒකේ පැහැදිලිව දකින්න තියෙනවා කියලත් අපිට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 119:105; ලූක් 1:3; 1 යොහන් 4:19) බයිබලයේ තියෙන ඒ වටින තොරතුරු ගැන දැනගන්න අනිත් අයට උදව් කරන්න අපි ගොඩක් ආසයි. ඒ නිසා ‘බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්’ කියන මේ පොත අපි ඔයාලට දෙන්නේ හරිම සතුටින්.
මේ පොත හදලා තියෙන්නේ දරුවන්ට. ඒත් බයිබලය ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න වැඩිහිටියන්ට උදව් කරන්නත් මේ පොත පාවිච්චි කරන්න පුළුවන්. බයිබලය කියන්නේ අපි හැමෝම වෙනුවෙන් ලියපු පොතක් නිසා ඒකේ තියෙන සිද්ධීන් මේ පොතෙන් බලද්දී හුඟක් ප්රයෝජන වගේම සතුටක් ලබන්නත් අපිට පුළුවන්.
දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳන් මිනිස් පවුලේ සිද්ධ වුණු දේවල් මේ පොතේ තියෙනවා. බයිබලයේ තියෙන සිද්ධීන් සරලව විස්තර කරන්න වගේම පුළුවන් හැම වෙලාවකම ඒවා සිද්ධ වුණු අනුපිළිවෙළටම කියන්න අපි උත්සාහ කළා.
මේ පොත නිකම්ම බයිබලයේ සිද්ධීන් ඇතුළත් කතන්දර පොතක් නෙමෙයි. මේකේ තියෙන තොරතුරුයි, පින්තූරුයි හදලා තියෙන්නේ බයිබලයේ තියෙන සිද්ධීන්වලට සහ චරිතවලට පණ දීලා ඒ අයගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් වෙන විදිහටයි.
බයිබලයේ තියෙන්නේ ඇත්තටම ජීවත් වුණු අයගේ අද්දැකීම් කියලා තේරුම්ගන්න මේ පොත අපිට උදව් වෙනවා. යෙහෝවාට කීකරු වුණු, අකීකරු වුණු අයගෙන් වටින පාඩම් ඉගෙනගන්න මේ පොත අපිට උදව් වෙයි. (රෝම 15:4; 1 කොරින්ති 10:6) මේ පොතේ කොටස් 14ක් තියෙනවා. ඒ හැම කොටසක්ම පටන්ගද්දී ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් කීපයක් ගැන තියෙනවා.
ඔයා දෙමාපියෙක් නම් දරුවා එක්ක පාඩමක් කියවලා ඒකේ තියෙන පින්තූරු ගැනත් එයා එක්ක කතා කරන්න. ඒ පාඩම අරන් තියෙන බයිබල් පද බයිබලයෙන්ම කියවන්න. කියවපු ඒ පද මේ පොතේ තියෙන පාඩමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. බයිබලයේ තියෙන පණිවිඩය සරලව තේරුම්ගන්න වැඩිහිටි කෙනෙක්ට උදව් කරන්නත් ඒ වගේම ක්රමයක් පාවිච්චි කරන්න පුළුවන්.
අවංක හිත් තියෙන බාල මහලු හැමෝටම දේවවචනයෙන් ඉගෙනගෙන ඒ දේවල් ජීවිතේට අදාළ කරගන්න මේ පොත උදව් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කළොත් දෙවියන්ගේ පවුලේ සාමාජිකයන් වෙලා දිගටම යෙහෝවාට නමස්කාර කරන්නත් එයාලට පුළුවන් වෙයි.
ඔයාලාගේ සහෝදරයෝ,
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය