103වෙනි පාඩම
“ඔබේ රාජ්‍යය පැමිණේවා!”
යෙහෝවා මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා: ‘අඬන එක, වේදනාව, ලෙඩ රෝග, මරණය නැති වෙනවා. ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. කලින් වුණ හැම නරක දෙයක්ම අමතක වෙනවා.’
යෙහෝවා ආදම්වයි ඒවවයි ඒදන් උයනේ පදිංචි කළේ සතුටින් ජීවත් වෙන්න. එයාලා දෙවියන්ට නමස්කාර කරන ගමන් මුළු පොළොවම දරුවන්ගෙන් පුරවයි කියලා ඔහු බලාපොරොත්තු වුණත් එයාලා ඔහුට අකීකරු වුණා. ඒත් දෙවියන්ගේ අරමුණ වෙනස් වුණේ නැහැ. ඔහු දෙන පොරොන්දු ඉටු කරනවා කියලා අපි මේ පොතෙන් දැක්කා. දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වුණා වගේම ඔහුගේ රාජ්‍යයෙන් මුළු පොළොවටම ආශීර්වාද ලැබෙනවා.
ළඟදීම සාතනුයි භූතයනුයි නරක මිනිස්සුයි නැති වෙනවා. හැමෝම නමස්කාර කරන්නේ යෙහෝවාට. කවුරුත් ලෙඩ වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. හැම උදේකම නැඟිටිද්දී අපිට ලොකු ශක්තියක් සතුටක් දැනෙයි. පොළොව ලස්සන උයනක් වෙනවා. හැමෝටම ඇති තරම් කෑම, ගෙවල් තියෙනවා. හැමෝම අනිත් අයට ආදරෙන් සලකනවා. නරක වැඩ කරන කවුරුත් නැහැ. අපි සත්තුන්ටත් සත්තු අපිටත් බය වෙන්නේ නැහැ.
මැරුණු අයට යෙහෝවා ජීවිතය දෙද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද! ආබෙල්, නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, එස්තර්, දාවිත් වගේ අයට ආයෙත් ජීවිතය ලැබුණාම එයාලා එක්ක කතා කරන්න අපිට පුළුවන්. එයාලත් අපි එක්ක එකතු වෙලා මේ පොළොව ලස්සන උයනක් කරයි. හැමදාම සතුටින් කරන්න ගොඩක් වැඩ එදාට තියෙයි.
යෙහෝවාට ඕනෙ ඔයාත් එදාට එතන ඉන්නවා දකින්න. එදාට ඔයාට පුළුවන් වෙයි ඔහු ගැන තවත් දේවල් ඉගෙනගන්න. ඒ නිසා දැනුත් සදාකාලයටමත් යෙහෝවාට අපි තව තවත් ළං වෙමු!
“අපේ දෙවි වන යෙහෝවා, සියලු තේජසත් ගෞරවයත් බලයත් ලබන්න වටින තැනැත්තා ඔබයි. මොකද හැම දෙයක්ම නිර්මාණය කළේ ඔබයි.”—එළිදරව් 4:11