86වෙනි පාඩම
යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
බෙතානියේ ජීවත් වුණු ලාසරුස් වගේම එයාගේ සහෝදරියන් වුණු මාර්තාත් මරියාත් යේසුස්ගේ හොඳ යාළුවන්. දවසක් යේසුස් යොර්දාන් ගඟෙන් එගොඩ ඉද්දී මාර්තායි මරියායි යේසුස්ට පණිවිඩයක් එවලා කිව්වා ‘ඉක්මනට එන්න. ලාසරුස්ට හොඳටම සනීප නෑ’ කියලා. හැබැයි යේසුස් ඒ වෙලාවෙම ගියේ නැහැ. දවස් දෙකකට පස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘අපි බෙතානියට යමු. ලාසරුස් නිදාගෙනයි ඉන්නේ. මං දැන් යන්නේ එයාව ඇහැරවන්න.’ එතකොට නියෝජිතයන් කිව්වා ‘ලාසරුස්ට නින්ද ගිහින් නම් එයා ඉක්මනින්ම සනීප වෙයිනේ’ කියලා. ඊටපස්සේ යේසුස් පැහැදිලිවම එයාලට කිව්වා “ලාසරුස් මැරිලා” කියලා.
යේසුස් බෙතානියට එද්දී ලාසරුස්ව තැන්පත් කරලා දවස් හතරක්ම ගෙවිලයි තිබුණේ. යේසුස් ඇවිත් කියලා දැනගත්තාම මාර්තා දුවගෙන ගිහින් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” එතකොට යේසුස් කිව්වා ‘මාර්තා, ඔයාගේ සහෝදරයා ආයෙත් නැඟිටිනවා. ඔයා ඒක විශ්වාස කරනවාද’ කියලා. ‘නැවත නැඟිටීම සිද්ධ වෙන කාලේදී එයා නැඟිටිනවා කියලා මට විශ්වාසයි’ කියලා මාර්තා කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. “මැරුණ අයව නැවත නැඟිට්ටවන්නෙත් මිනිස්සුන්ට ජීවනය දෙන්නෙත් මමයි.”
මාර්තා ඉක්මනින්ම ගිහින් මරියාට කිව්වා ‘යේසුස් ඇවිත්’ කියලා. ඒ වෙලාවෙම මරියා යේසුස් ළඟට දුවගෙන ගියා. ගෙදරට ඇවිත් හිටිය සෙනඟත් එයා පස්සෙන් ගියා. මරියා යේසුස් ළඟ දණින් වැටිලා අඬඅඬ “ස්වාමීනි, ඔයා මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නෑ” කියලා කිව්වා. එතකොට යේසුත් අඬන්න පටන්ගත්තා. යේසුස් අඬනවා දැක්කාම සෙනඟ කතා වුණා “බලන්නකෝ, එයා ලාසරුස්ට කොච්චර ආදරෙයිද” කියලා. ඒත් ‘යේසුස් එයාගේ යාළුවාව බේරගත්තේ නැත්තේ ඇයි’ කියලා සමහර අය කල්පනා කළා.
ලාසරුස්ව තැන්පත් කරලා තිබුණු ගුහාව ළඟට යේසුස් යද්දී ඒක ගලකින් වහලයි තිබුණේ. ‘ඒ ගල අයින් කරන්න’ කියලා යේසුස් කිව්වාම මාර්තා කිව්වා ‘එයා මැරිලා දවස් හතරක්ම ගිහින්. මිනිය හොඳටම ගඳ ගහනවා ඇති’ කියලා. ගල අයින් කළාම යේසුස් මෙහෙම යාච්ඤා කළා. ‘තාත්තේ, මට ඇහුම්කන් දුන්නාට ස්තුතියි. මං හැමෝටම ඇහෙන්න යාච්ඤා කරන්නේ මාව මෙතනට එව්වේ ඔයායි කියලා එයාලට තේරුම්ගන්න උදව් කරන්නයි.’ ඊටපස්සේ යේසුස් කිව්වා “ලාසරුස්, එළියට එන්න” කියලා. රෙදි පටිවලින් ඔතලා තිබුණු ලාසරුස් ඒ වෙලාවෙම එළියට ආවා. එතකොට යේසුස් කිව්වා “එයාගේ රෙදි පටි ගලවලා එයාට යන්න දෙන්න” කියලා.
එතන හිටිය හුඟක් අය යේසුස්ව විශ්වාස කරන්න පටන්ගත්තා. හැබැයි සමහර අය ඒ ගැන පරිසිවරුන්ට කිව්වා. ඒක දැනගත්තාම පරිසිවරුන්ට ඕන වුණා යේසුස්වයි ලාසරුස්වයි දෙන්නාවම මරලා දාන්න. ඉතින් යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යූදස් ඉස්කාරියොත් හොරෙන්ම එයාලා ළඟට ගිහින් ඇහුවා ‘යේසුස්ව අල්ලලා දුන්නොත් මට කීයක් ගෙවනවාද’ කියලා. රිදී කාසි 30ක් දෙන්න එයාලා පොරොන්දු වුණා. එදා ඉඳන් යේසුස්ව පරිසිවරුන්ට අල්ලලා දෙන්නයි යූදස් උත්සාහ කළේ.
“සැබෑ දෙවියන් වන ඔහු අපේ ගැලවුම්කරුයි. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අපිව මරණයෙන් බේරගන්නවා.”—ගීතාවලිය 68:20