62වෙනි පාඩම
හීනෙන් දැකපු ගහේ තේරුම
දවසක් නෙබුකද්නෙෂර් රජ හුඟක් බය හිතෙන හීනයක් දැක්කා. ඒකේ තේරුම දැනගන්න උගත් මිනිස්සුන්ට කතා කළත් කාටවත් ඒකේ තේරුම කියන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා රජ දානියෙල්ට කතා කළා.
දැකපු හීනේ රජ දානියෙල්ට විස්තර කළේ මෙහෙමයි. ‘මං ලොකු ගහක් දැක්කා. ඒක අහස උසටම වැවුණා. පොළොවේ කොහේ ඉඳන් බැලුවත් ඒක පෙනුණා. ඒ ගහේ හරිම ලස්සන කොළත් හුඟක් පලතුරුත් තිබුණා. සත්තු ඒ ගහ යටට ඇවිත් හාන්සි වෙලා හිටියා. ගහේ අතුවල කුරුල්ලන් කූඩු හදාගත්තා. එකපාරටම දේවදූතයෙක් ඇවිත් මෙහෙම කිව්වා. “ගහ කපලා දාන්න. අතුත් කපන්න. හැබැයි කඳ උගුල්ලන්න එපා. ඒක යකඩ පටිවලිනුත් තඹ පටිවලිනුත් බඳින්න. මනුස්ස හිතක් වෙනුවට ඒ ගහට කැලේ සතෙක්ගේ හිතක් දෙයි. කාලවල් හතක්ම ඒ විදිහට පහු වෙයි. සැබෑ පාලකයා දෙවියන් කියලත් ඔහු කැමති ඕනෙම කෙනෙක්ට රාජ්‍යය භාර දෙන්න ඔහුට පුළුවන් කියලත් හැමෝම දැනගනියි.”’
යෙහෝවා ඒ හීනේ තේරුම දානියෙල්ට පැහැදිලි කරලා දුන්නාම එයා හුඟක් බය වෙලා රජට මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, ඔබ දැකපු දේ ඔබේ සතුරන්ට වුණා නම් හොඳයි. ඒත් ඒ දේ වෙන්නේ ඔබට. ඔබ දැකපු ගහෙන් නියෝජනය වෙන්නේ ඔබව. ඔබේ රජකම නැති වෙනවා. කැලේ සතෙක් වගේ ඔබත් තණකොළ කයි. හැබැයි ගහේ කඳ ඉතුරු කරන්න කියලා දේවදූතයා කියපු නිසා ඔබට ආයෙත් රජකම ලැබෙනවා.’
අවුරුද්දකට පස්සේ දවසක් නෙබුකද්නෙෂර් රජ එයාගේ මාලිගාවේ සඳලුතලයේ ඉඳන් බැබිලෝනිය දිහා බලාගෙන ඇවිද ඇවිද ඉද්දී එයාටම මෙහෙම කියාගත්තා. ‘මං හදපු මේ නගරය කොච්චර ලස්සනද! මං කොච්චර බලවත්ද!’ ඒ වෙලාවේ ස්වර්ගයෙන් ආපු කඩහඬක් මෙහෙම කිව්වා. ‘නෙබුකද්නෙෂර්! රාජ්‍යය ඔබෙන් අයින් කරලා තියෙනවා.’
එතකොටම නෙබුකද්නෙෂර්ට කල්පනාව නැතුව ගිහින් කැලේ සතෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා. එයාව රජමාලිගාවෙන් පන්නපු නිසා එයාට ජීවත් වෙන්න වුණේ සත්තුත් එක්ක. එයාගේ කොණ්ඩේ රාජාලියෙක්ගේ පිහාටු වගේ දිගට වැවුණා. නියපොතු කුරුල්ලෙක්ගේ නියපොතු වගේ වැවුණා.
අවුරුදු හතකට පස්සේ නෙබුකද්නෙෂර්ට ආපහු කල්පනාව ලැබුණාම යෙහෝවා එයාට රජකම දුන්නා. එයා ඒ ගැන කිව්වේ මෙහෙමයි. ‘ස්වර්ගයේ රජ වන යෙහෝවාට මං ප්‍රශංසා කරනවා. යෙහෝවා තමයි සැබෑ පාලකයා කියලා දැන් මං දන්නවා. ඔහු උඩඟු අයව පහත් කරනවා. ඔහු කැමති ඕනෙම කෙනෙක්ට පාලනය භාර දෙන්න ඔහුට පුළුවන්.’
“විනාශයට මුල උඩඟුකමයි. වැටීමට හේතුව අහංකාරකමයි.”—හිතෝපදේශ 16:18