48වෙනි පාඩම
වැන්දඹුවකගේ පුතා ආයේ ජීවත් වෙයි
වැස්ස නැති කාලේදී යෙහෝවා එලියාට මෙහෙම කිව්වා. ‘සාරෆෙත් නගරෙට යන්න. එහේ වැන්දඹුවක් ඔයාට කෑම දෙයි.’ ඒ නගරයේ දොරටුව ළඟට ගියාම දර එකතු කරන වැන්දඹුවක්ව එලියා දැක්කා. එලියා එයාගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවා. එයා වතුර ගේන්න යද්දී එලියා ඇහුවා “මට කන්න රොටි කෑල්ලකුත් ගේන්න පුළුවන්ද” කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. ‘ඔයාට දෙන්න මං ළඟ රොටි නෑ. මටයි පුතාටයි කෑම ටිකක් හදාගන්න පිටි ටිකකුයි තෙල් ටිකකුයි විතරයි මං ළඟ තියෙන්නේ.’ එලියා මෙහෙම කිව්වා. ‘ඔයා මට රොටි දුන්නොත් ආපහු වැස්ස ලැබෙන කල් ඔයා ළඟ තියෙන තෙලුයි පිටියි ඉවර වෙන්නේ නෑ කියලා යෙහෝවා පොරොන්දු වුණා.’
ඊටපස්සේ වැන්දඹුව ගෙදර ගිහින් එලියාට රොටි හැදුවා. යෙහෝවා පොරොන්දු වුණු විදිහටම ආයෙත් වහින කල් වැන්දඹුව ළඟ තිබුණු පිටියි තෙලුයි ඉවර වුණේ නැහැ.
හැබැයි හිතපු නැති විදිහට එයාගේ පුතා අසනීප වෙලා මැරුණා. ඒ නිසා එයා එලියාට කිව්වා උදව් කරන්න කියලා. එතකොට එලියා ඒ දරුවාව උස්සගෙන ගෙදර උඩ තට්ටුවේ තිබුණු කාමරයකට ගිහින් මෙහෙම යාච්ඤා කළා. “අනේ මගේ දෙවි යෙහෝවා, මේ දරුවාට ආයෙත් ජීවිතේ දෙන්න.” හැබැයි අපි දන්න විදිහට ඊට කලින් කවදාවත් මැරුණු කෙනෙක්ට ආයෙත් පණ ලැබිලා තිබුණේ නැහැ. අනික මේ වැන්දඹුව ඊශ්‍රායෙල් ජාතියේ කෙනෙකුත් නෙවෙයි.
හැබැයි පුතාට ආයෙත් පණ ආවා. ඊටපස්සේ එලියා වැන්දඹුවට කිව්වා “මේ බලන්න, ඔයාගේ පුතා ජීවත් වෙනවා” කියලා. එතකොට එයා හුඟක් සතුටින් එලියාට මෙහෙම කිව්වා. ‘ඔයා ඇත්තටම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්. මොකද ඔයා කියන්නේ දෙවියන් කියන දේවල් විතරයි කියලා මං දන්නවා.’
“කපුටන් ගැන ටිකකට හිතන්න. උන් බීජ වපුරන්නෙවත් අස්වැන්න නෙළාගන්නෙවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. ඒත් දෙවියන් උන්ව පෝෂණය කරනවා. ඔයාලා කුරුල්ලන්ට වඩා ගොඩක් වටින්නේ නැද්ද?”—ලූක් 12:24