39වෙනි පාඩම
ඊශ්‍රායෙල්වල පළවෙනි රජ
යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න විනිශ්චයකරුවන්ව දීලා තිබුණත් සෙනඟට රජෙක්ව ඕන වුණා. එයාලා සාමුවෙල්ට කිව්වා ‘අනිත් ජාතීන්ට වගේ අපිටත් රජෙක්ව ඕනෙ’ කියලා. ඒ දේ වැරදියි කියලා සාමුවෙල් දැනගෙන හිටිය නිසා එයා ඒ ගැන යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. ‘ඇත්තටම එයාලා එපා කියන්නේ ඔයාව නෙමෙයි මාව. ඒගොල්ලන්ට කියන්න රජෙක්ව පත් කළොත් රජ එයාලාගෙන් හුඟක් දේවල් බලාපොරොත්තු වෙයි කියලා.’ ඒත් මිනිස්සු කිව්වා ‘අපිට රජෙක් ඕනෙමයි’ කියලා.
යෙහෝවා සාමුවෙල්ට කිව්වා පළවෙනි රජ විදිහට පත් වෙන්නේ සාවුල් කියලා. සාවුල් රාමාවල හිටිය සාමුවෙල්ව බලන්න ගියාම සාමුවෙල් එයාගේ ඔළුවට තෙල් වක් කරලා එයාව රජ විදිහට පත් කළා.
ඊටපස්සේ සාමුවෙල් සෙනඟට කතා කළා අලුත් රජව පෙන්නන්න. හැබැයි සාවුල්ව හොයාගන්න බැරි වුණා. ඔයා දන්නවාද ඇයි කියලා? එයා බඩු මලු අස්සේ හැංගිලයි හිටියේ. අන්තිමේදි සාවුල්ව හොයාගෙන සෙනඟ මැදට ගෙනාවා. සාවුල් හැමෝටම වඩා උස මහත ලස්සන කෙනෙක්. සාමුවෙල් කිව්වා ‘මේ තමයි යෙහෝවා තෝරගත්ත කෙනා’ කියලා. සෙනඟ කෑගහලා කිව්වා “රජතුමා දිගු කල් ජීවත් වේවා” කියලා.
මුලදී සාවුල් රජ සාමුවෙල්ට ඇහුම්කන් දුන්නා, යෙහෝවාට කීකරුව හිටියා. හැබැයි පස්සේ එයා වෙනස් වුණා. පූජා ඔප්පු කරන්න සාවුල් රජට අවසර තිබුණේ නැහැ. හැබැයි දවසක් සාමුවෙල් එන්න පරක්කු වුණ නිසා සාවුල් පූජාවක් ඔප්පු කළා. ඒක දැනගත්තාම සාමුවෙල්ට කොහොම හිතෙන්න ඇද්ද! එයා සාවුල්ගෙන් ඇහුවා ‘ඇයි ඔයා දෙවියන්ට අකීකරු වුණේ’ කියලා.
සාවුල් අමලෙක්වරුන් එක්ක සටන් කරන්න යද්දී සාමුවෙල් කිව්වා කාවවත් ඉතුරු කරන්න එපා කියලා. ඒත් සාවුල් අමලෙක්වරුන්ගේ රජ වුණු ආගග්ව මැරුවේ නැහැ. යෙහෝවා සාමුවෙල්ට කිව්වා ‘සාවුල් මං කියපු විදිහට වැඩ කළේ නැහැ. එයා මාව අත්හැරලා’ කියලා. මේ ගැන දුක් වුණු සාමුවෙල් සාවුල්ට කිව්වා ‘ඔයා දෙවියන්ට අකීකරු වුණ නිසා රජකමට ඔහු වෙන කෙනෙක්ව පත් කරයි’ කියලා. ඒක කියලා සාමුවෙල් යද්දී සාවුල් එයාගේ ඇඳුමෙන් ඇද්දාම ඒක ඉරුණා. සාමුවෙල් සාවුල්ට කිව්වා ‘යෙහෝවා ඔයාව රජකමින් අයින් කළා’ කියලා. දෙවියන්ට ආදරේ කරන, කීකරු කෙනෙක්ව රජ විදිහට පත් කරන්න යෙහෝවා තීරණය කළා.
“පූජා ඔප්පු කරනවාට වඩා වටින්නේ කීකරුකමයි.”—1 සාමුවෙල් 15:22