8වෙනි පාඩම
ආබ්‍රහම් සහ සාරා දෙවියන්ට කීකරු වුණා
බාබෙල් නුවරට කිට්ටුවෙන් ඌර් කියලා නගරයක් තිබුණා. එහේ මිනිස්සු යෙහෝවාට නමස්කාර කළේ නැහැ. වෙන වෙන දෙවිවරුන්ටයි නමස්කාර කළේ. ඒත් යෙහෝවාට විතරක් නමස්කාර කරපු කෙනෙක් එහේ හිටියා. ඒ ආබ්‍රහම්.
යෙහෝවා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ ගෙදරයි නෑදෑයෝයි දාලා මං පෙන්නන දේශයට යන්න.’ ඊටපස්සේ ඔහු මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයාගෙන් ලොකු ජාතියක් ඇති වෙනවා. ඔයා නිසා පොළොවේ ඉන්න හුඟක් මිනිස්සුන්ට මං ආශීර්වාද කරනවා.’
යෙහෝවා ආබ්‍රහම්ව යවන්නේ කොහෙටද කියලා එයා දැනගෙන හිටියේ නැති වුණත් එයා යෙහෝවාව විශ්වාස කළා. එයායි එයාගේ බිරිඳ සාරායි එයාගේ තාත්තා ටේරායි ලොත් කියන එයාගේ නෑදෑයායි එයාලාගේ බඩු ලෑස්ති කරගෙන දුර ගමනක් යන්න පටන්ගත්තා.
දෙවියන් පොරොන්දු වුණු දේශයට එයාලා එද්දී ආබ්‍රහම්ට වයස 75යි. ඒ දේශයට කිව්වේ කානාන් කියලා. එහෙදී යෙහෝවා ආබ්‍රහම්ට මේ පොරොන්දුවත් දුන්නා. ‘ඔයාට පේන මේ දේශය මං ඔයාගේ ළමයින්ට දෙනවා.’ ඒත් ඒ වෙද්දී හුඟක් වයසට ගිහින් හිටිය ආබ්‍රහම්ටයි සාරාටයි දරුවන් හිටියේ නැහැ. එහෙනම් යෙහෝවා ඒ පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද?
‘ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය නිසා එයා කීකරු වුණා. එයාට උරුමයක් විදිහට ලැබෙන්න තිබුණ තැනට යන්න එයා පිටත් වුණා. කොහෙටද යන්නේ කියලා දැනගෙන හිටියේ නැතත් එයා පිටත් වෙලා ගියා.’—හෙබ්‍රෙව් 11:8