4වෙනි පාඩම
කේන්තිය හරිම භයානකයි
ආදම්, ඒව ඒදන් උයනෙන් ගියාට පස්සේ ඒ දෙන්නාට හුඟක් දරුවන් ලැබුණා. පළවෙනි පුතා කායින්. එයා කළේ එළවළු, පලතුරු වවන එක. දෙවෙනි පුතා ආබෙල්. එයා කළේ බැටළුවන්ව බලාගන්න එක.
දවසක් කායිනුයි ආබෙලුයි යෙහෝවාට පූජා ඔප්පු කළා. පූජාවක් කියන්නේ දෙවියන්ට දෙන විශේෂ තෑග්ගක්. ආබෙල්ගේ පූජාව ගැන යෙහෝවා හුඟක් සතුටු වුණත් කායින් ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා කායින්ට හුඟක් කේන්ති ගියා. යෙහෝවා කායින්ට කිව්වා එයා කේන්තියෙන් හිටියොත් නරක දෙයක් කරන්න හිතෙයි කියලා. ඒත් කායින් ඒක ඇහුවේ නැහැ.
කායින් ආබෙල්ට කිව්වා “අපි කැලෑව පැත්තට යමුද” කියලා. එහෙට ගියාට පස්සේ එයා ආබෙල්ට ගහලා එයාව මැරුවා. ඒ නිසා යෙහෝවා කායින්ට දඬුවම් කළා. එයාව පවුලේ අයගෙන් ඈතට යැව්වා. ආයෙ කවදාවත් ගෙදර එන්න ඉඩ දුන්නේ නැහැ.
ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි කැමති විදිහට දේවල් වෙන්නේ නැති වුණාම අපිට කේන්ති යන්න පුළුවන්. අපේ හිතේ තියෙන කේන්තිය වැඩි වෙනවා කියලා අපිට දැනුණොත් එහෙම නැත්නම් වෙන කෙනෙක් අපිට ඒ ගැන කිව්වොත් අපි ඉක්මනින්ම කේන්තිය නැති කරගන්න ඕනේ. නැත්නම් අපිත් කායින් වගේ වෙයි.
ආබෙල් යෙහෝවාට ආදරේ කළා. හැම තිස්සෙම හරි දේ කළා. ඒ නිසා යෙහෝවා කවදාවත් එයාව අමතක කරන්නේ නැහැ. මුළු පොළොවම පාරාදීසයක් ඒ කියන්නේ ලස්සන උයනක් කරන කාලේදී ඔහු ආබෙල්ට ආයෙත් ජීවිතය දෙනවා.
“ඉස්සෙල්ලාම ඔයාගේ සහෝදරයා එක්ක සමාදාන වෙන්න. ඊටපස්සේ ඇවිත් ඔයාගේ පූජාව ඔප්පු කරන්න.”—මතෙව් 5:24