දේවකැමැත්ත කරන්න ඔයාත් අපි එක්ක එකතු වෙනවාද?
මේ සඟරාව කියවලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන, අපි කරන සේවය ගැන, අපේ සංවිධානය ගැන දැනුවත් වෙන්න ඔයා දරපු උත්සාහය අපි අගය කරනවා. අද දෙවිගේ කැමැත්ත ඉටු කරන්නේ අපි කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙන්න ඇති කියලා අපි හිතනවා. දිගටම බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන දෙවිව දැන හඳුනා ගන්න කියලා අපි ඔයාව දිරිගන්වන්න කැමතියි. ඔයා ඉගෙනගන්න දේවල් ඔයාගේ පවුලේ අයට, ඔයාගේ යාළුවන්ට කියන්න. ඒ වගේම සතිපතා තියෙන අපේ රැස්වීම්වලටත් එන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.—හෙබ්‍රෙව් 10:23-25.
ඔයා යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඉගෙනගන්න ඔයාට තේරෙයි දෙවි ඔයාට කොච්චර ආදරේද කියලා. එතකොට ඔයා පෙලඹෙනවා දෙවි ගැන ඔයාට තියෙන ආදරේ පෙන්නන්න ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. (1 යොහන් 4:8-10, 19) ඒත් ඔයා දෙවිට ආදරෙයි කියලා ඔයා ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න පුළුවන් කොහොමද? දෙවි කියලා තියෙන විදිහට ජීවත් වෙන එකෙන් යහපතක් වෙන්නේ ඔයාටමයි කියලා ඔයා දන්නේ කොහොමද? දේවකැමැත්ත කරන්න ඔයා තුළ ආසාවක් ඇති කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාත් එක්ක බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරන කෙනා ඔයාට උදව් කරයි. එතකොට ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි පුළුවන් වෙයි ‘සදාකාල ජීවනය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින අතරතුර දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගන්න.’—යූද් 21.
“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියන පොත ඊළඟට සාකච්ඡා කරන්න කියලා අපි ඔයාව දිරිගන්වන්න කැමතියි. දෙවිට ළං වෙලා දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න ඒක ඔයාට උදව් වෙයි.