ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 24 කොටස 27-28 පි.
  • පාවුල් සභාවන්ට ලියූ ලිපි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාවුල් සභාවන්ට ලියූ ලිපි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • විශ්වාසය, යහපත් හැසිරීම හා ප්‍රේමයේ ඇති වැදගත්කම
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාවුල් දැන් රෝමයේ
    මගේ බයිබල් කතන්දර පොත
  • සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරූ තැනැත්තා
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 24 කොටස 27-28 පි.
අත්අඩංගුවේ ඉන්න පාවුල් වෙනත් කෙනෙක් මාර්ගයෙන් ලිපියක් ලියමින්

24වන පාඩම

පාවුල් සභාවන්ට ලියූ ලිපි

පාවුල් ලියූ ලිපිවලින් ක්‍රිස්තියානි සභාවල සිටි අය දිරිගැන්වීම් ලබයි

ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසුව දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා බොහෝ වගකීම් ඔවුන්ට පැවරුණා. ඒ සමඟම ඔවුන්ට පීඩා රැසකට මුහුණ දීමට සිදු වුණා. එවැනි පීඩා හා සභාවෙන්ම පැමිණි නපුරු බලපෑම් හමුවේ ඔවුන්ට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි වෙයිද? ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා දිරිගැන්වීම් ඇතුළත් ලිපි 21ක් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ සඳහන් වෙනවා.

බයිබලයේ රෝම පොතේ සිට හෙබ්‍රෙව් පොත දක්වා තිබෙන ලිපි 14ක්ම ලියනු ලැබුවේ පාවුල් විසිනුයි. ඒ ලිපි නම් කර තිබෙන්නේ ලිපි මගින් ඇමතූ පුද්ගලයාගේ නමින් හෝ සභාවේ නමිනුයි. දැන් අපි ඒ ලිපිවල සාකච්ඡා කළ විෂයන් කිහිපයක් සලකා බලමු.

ජීවත් විය යුතු ආකාරය පිළිබඳ උපදෙස්. අනාචාරයේ හැසිරෙන අයටවත් වෙනත් බරපතළ වැරදි කරන අයටවත් “දෙවිගේ රාජ්‍යය උරුම නොවන බව” එම ලිපිවල සඳහන් වෙනවා. (ගලාති 5:19-21; 1 කොරින්ති 6:9-11) දෙවිට නමස්කාර කරන අය කුමන ජාතියට අයත් වුණත් ඔවුන් එක්සත්ව සිටිය යුතු බවත් එම ලිපිවල අවධාරණය කර තිබෙනවා. (රෝම 2:11; එෆීස 4:1-6) එමෙන්ම අවශ්‍යතා ඇති අයට කැමැත්තෙන්ම උපකාර කිරීමට ඔවුන් බැඳී සිටින බව එහි සඳහන් වෙනවා. (2 කොරින්ති 9:7) “නොකඩවා යාච්ඤා කරන්න” කියාත් සිතේ තිබෙන සෑම දෙයක්ම යාච්ඤාවෙන් දෙවිට පවසන්න කියාත් පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූවා. (1 තෙසලෝනික 5:17; 2 තෙසලෝනික 3:1; ෆිලිප්පි 4:6, 7) නමුත් දෙවි ඒ යාච්ඤාවලට ඇහුම්කන් දීමට නම් ඔවුන් ඒවා මහත් විශ්වාසයකින් ඉදිරිපත් කළ යුතුයි.—හෙබ්‍රෙව් 11:6.

පවුල් ජීවිත සාර්ථක කරගැනීමට පාවුල් ලබා දුන්නේ මොන වගේ උපදෙස්ද? ස්වාමිපුරුෂයන් තමන්ට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතු බවත් භාර්යාවන් තම පුරුෂයන්ට ගැඹුරු ගෞරවයකින් සැලකිය යුතු බවත් පාවුල් පැවසුවා. දරුවන්ද තම දෙමාපියන්ට කීකරු වීම දෙවිට ප්‍රසන්න දෙයක් බව ඔහු සඳහන් කළා. එමෙන්ම දෙමාපියන් දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව දරුවන්ට උපදෙස් හා පුහුණුව ප්‍රේමණීයව ලබා දිය යුතු බව පාවුල් පැවසුවා.—එෆීස 5:22–6:4; කොලොස්සි 3:18-21.

පාවුල් ලිපි ලියපු ස්ථාන

දෙවිගේ අරමුණ ගැන එළිදරව් කළ දේ. මෝසෙස්ට දෙන ලද නීතියේ විවිධ පැතිවලින් ක්‍රිස්තුස් පැමිණෙන තුරු ඊශ්‍රායෙල් සෙනඟට ආරක්ෂාව හා මඟ පෙන්වීම් ලැබුණා. (ගලාති 3:24) නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා තවදුරටත් එම නීතිය පිළිපැදීමට ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වුණේ නැහැ. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට එනම්, යුදෙව් පසුබිමකින් පැමිණි ක්‍රිස්තියානීන්ට මෝසෙස්ට දුන් නීතියේ වැදගත්කම ගැන පැහැදිලි කර දුන් අතර ක්‍රිස්තුස් තුළින් දෙවිගේ අරමුණ ඉටු වන ආකාරයද පැහැදිලි කළා. පාවුල් තවදුරටත් පැවසුවේ නීතිය යටතේ සිදු කළ බොහෝ දේවල්, ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් සංකේතවත් කළ බවයි. උදාහරණයකට නීතිය යටතේ ඔප්පු කළ සත්ව පූජා මගින් මිනිසුන්ගේ පව්වලට සමාව ලබාගැනීමට නිසි පදනමක් සැපයූ යේසුස්ගේ ජීවිත පූජාව සංකේතවත් කළා. (හෙබ්‍රෙව් 10:1-4) ඊශ්‍රායෙල් සෙනඟ පිළිපැදීමට බැඳී සිටි නීතිය අවලංගු කිරීමට යේසුස්ගේ මරණය මාර්ගයෙන් දෙවිට හැකි වුණා.—කොලොස්සි 2:13-17; හෙබ්‍රෙව් 8:13.

පාවුල් සභාවකට එවපු ලිපියක් කියවද්දී සභාවේ අය ඇහුම්කන් දෙමින් සිටියි

සභාව නිසි ලෙස සංවිධානය කිරීම පිළිබඳ උපදෙස්. ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරීමට කැමති අයට උසස් සදාචාර ප්‍රමිති හා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තිබීම අත්‍යවශ්‍යයි. (1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:5-9) එකිනෙකාව දිරිගැන්වීම සඳහා යෙහෝවා දෙවිට නමස්කාර කරන අය නිතිපතා එකට රැස් වීමත් වැදගත්. (හෙබ්‍රෙව් 10:24, 25) එම රැස්වීම්වල සාකච්ඡා කළ යුත්තේ ගොඩනංවනසුලු මෙන්ම ප්‍රයෝජනවත් තොරතුරුයි.—1 කොරින්ති 14:26, 31.

පාවුල් තිමෝතිට යැවූ දෙවෙනි ලිපිය ලිව්වේ තීන්දුවක් ලැබෙන තුරු රෝමයේ සිරගතව සිටියදීයි. ඒ කාලයේදී ඔහුව බැලීමට ගියේ නිර්භීත කිහිපදෙනෙක් පමණයි. තමා ජීවත් වන්නේ තව කෙටි කාලයකට පමණයි කියා පාවුල් දැනගෙන සිටියා. ඒ නිසයි ඔහු මෙවැනි දෙයක් පැවසුවේ. “මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.” (2 තිමෝති 4:7) පාවුල් මිය යන්න ඇත්තේ එසේ පවසා කෙටි කලකට පසුවයි. නමුත් පාවුල් ලියූ ලිපිවල ඇති තොරතුරු යෙහෝවා දෙවිට නමස්කාර කරන අයට අදටත් ප්‍රයෝජනවත්.

—රෝම; 1 කොරින්ති හා 2 කොරින්ති; ගලාති; එෆීස; ෆිලිප්පි; කොලොස්සි; 1 තෙසලෝනික හා 2 තෙසලෝනික; 1 තිමෝති හා 2 තිමෝති; තීතස්; ෆිලෙමොන්; හෙබ්‍රෙව්.

  • ජීවත් විය යුතු ආකාරය ගැන පාවුල් ලියූ ලිපිවල ඇතුළත් වන්නේ මොන වගේ උපදෙස්ද?

  • ක්‍රිස්තුස් තුළින් දෙවිගේ අරමුණ ඉටු වන ආකාරය ගැන පාවුල් එළිදරව් කළේ මොනවාද?

  • සභාව නිසි ලෙස සංවිධානය කිරීම ගැන පාවුල් දුන්නේ මොන වගේ උපදෙස්ද?

පොරොන්දු වූ ගැලවුම්කරු කවුද?

ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ පසු දෙවි සර්පයාට මෙසේ පැවසුවා. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) බයිබලයේ යක්ෂයාව හඳුන්වා තිබෙන්නේ “මුල් සර්පයා” ලෙසයි. (එළිදරව් 12:9) ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා නැත්නම් පොරොන්දු වූ ගැලවුම්කරු කවුද යන කාරණය සම්බන්ධයෙන් දෙවි විවිධ කාලවලදී ක්‍රමානුකූලව එළිදරව් කළා.

ආදම් සහ ඒව දෙවිට අකීකරු වී අවුරුදු 2,000කට පමණ පසුව පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපතින් බව යෙහෝවා දෙවි පැවසුවා. (උත්පත්ති 22:17, 18) ඉන් සියවස් ගණනාවකට පසුව පොරොන්දු වූ තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් බව පාවුල් පැහැදිලි කළා. (ගලාති 3:16) යේසුස්ව මරණයට පත් කළ අවස්ථාවේ ඔහුගේ “විලුඹ පොඩි” කිරීම ගැන උත්පත්ති 3:15හි සඳහන් වූ දෙය ඉටු වුණා. නමුත් දෙවි යේසුස්ව ස්වර්ගයේ ජීවත් වීමට නැවත නැඟිට්ටෙව්වා.—1 පේතෘස් 3:18.

මිනිසුන් අතරින් තෝරාගත් 1,44,000දෙනෙක් පොරොන්දු වූ ගැලවුම්කරු සමඟ හවුල් උරුමක්කාරයන් වීමත් දෙවිගේ අරමුණට ඇතුළත් වුණා. (ගලාති 3:29; එළිදරව් 14:1) යේසුස් සමඟ දෙවිගේ රාජ්‍යයේ රජකම් කිරීමට ඔවුන්වත් ස්වර්ගයට නැවත නැඟිටුවනවා.—රෝම 8:16, 17.

බලවත් රජෙකු වන යේසුස් ඉතා ළඟදී සාතන්වත් සාතන්ගෙන් පැවතෙන සියලුදෙනාවම එනම්, දුෂ්ට මිනිසුන් හා භූතයන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. (යොහන් 8:44; එෆීස 6:12) දෙවිට කීකරුව සිටින මිනිස් වර්ගයාට යේසුස්ගේ පාලනය තුළින් සතුට හා සාමය පිරුණු කාලයක් උදා වෙනවා. අවසානයේදී යේසුස් සාතන්ව මුළුමනින්ම විනාශ කිරීමෙන් ඔහුගේ “හිස පොඩි” කර දමනවා.—හෙබ්‍රෙව් 2:14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න