පාලක මණ්ඩලයෙන් ලියුමක්
ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රිය මිතුර:
ඔබ යේසුස්ගේ නියෝජිතයෙක් කියා සිතන්න. අනිත් නියෝජිතයන් සමඟ ඔබ දැන් ඉන්නේ ඔලීව කන්දෙයි. යේසුස් දැන් ඔබ හැමෝම ඉදිරියේ දර්ශනය වෙනවා. ඔබ හැමෝගෙන්ම සමුගෙන ස්වර්ගයට යෑමට අවස්ථාව එද්දී යේසුස් මෙහෙම කියනවා. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් කියපු ඒ දේ ගැන ඔබට කොහොම හැඟෙයිද?
ඒක මොන තරම් බාරදූර කාර්යයක්ද කියා ඔබට සිතෙයි. අපි වගේ කුඩා කණ්ඩායමක් “පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්” යේසුස් ගැන සාක්ෂි දරන්නේ කොහොමද කියාත් ඔබ සිතයි. යේසුස් මිය යන්න කලින් රාත්‍රියේ දුන්න මේ අනතුරු ඇඟවීමත් ඔබේ මතකයට නැඟෙයි. “දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි. එයාලා මං කියන දේ පිළිපැද්දා නම් ඔයාලා කියන දේත් පිළිපදියි. ඒත් මාව එවපු කෙනාව එයාලා අඳුරන්නේ නැහැ. ඉතින් ඔයාලා මගේ අනුගාමිකයන් නිසා ඔයාලට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම එයාලා කරයි.” (යොහ. 15:20, 21) මේ තරම් විරුද්ධවාදිකම් හා පීඩා මැද පැහැදිලි සාක්ෂියක් දෙන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරන බවට සැකයක් නැහැ.
“පොළොවේ දුර ඈත ප්‍රදේශවලට” ගිහින් “හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට” යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දීමේ වගකීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපට අද පැවරිලා තියෙනවා. (මතෙ. 28:19, 20) යේසුස් කියපු විදිහට විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට අපටත් සිදු වන නිසා ඒ වගකීම ඉටු කරන්නේ කොහොමද?
යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා කියන පොතේ පළවෙනි සියවසේ සිටි යේසුස්ගේ නියෝජිතයන් හා ඔවුන් එක්ක සේවය කළ අනිත් ක්‍රිස්තියානීන් දෙවියන්ගේ උදව් ඇතුව ඒ වගකීම ඉටු කරපු විදිහ ගැන රසවත් වාර්තාවක් සඳහන් වෙනවා. ඔබ දැන් කියවන මේ පොත සකස් කරලා තියෙන්නේ ඒ රසවත් වාර්තාවේ තොරතුරු හොඳින් සෝදිසි කර බැලීමට ඔබට උපකාර කරන්නයි. විවිධ ත්‍රාසජනක සිදුවීම්වලට එදා නිර්භීතව මුහුණ දුන්න ඔවුන් තුළ තිබුණ උද්යෝගය, ඔවුන් අද්දැක්ක සතුට, ඔවුන්ගේ විශ්වාසය ඔබත් අද්දකිනවාට අප කැමතියි. ඒ නිසා මේ පොත කියවද්දී ඒ සිදුවීම් ඔබේ මනසින් මවාගන්න උත්සාහ කරන්න. එදා හිටිය දෙවියන්ගේ සේවකයන් හා අද දෙවියන්ට සේවය කරන අප අතර කොතරම් සමානකම් තියෙනවාද කියලා දැක්කාම ඔබ පුදුම වෙයි. අප සමාන වන්නේ අප ඉටු කරන වගකීම නිසා විතරක් නෙවෙයි. අපේ සේවයත් සංවිධානය කරලා තියෙන්නේ එදා ඒක සංවිධානය කරලා තිබුණ විදිහටමයි. ඒ සමානකම් ගැන ගැඹුරින් කල්පනා කරද්දී යෙහෝවා පොළොවේ පිහිටුවලා තියෙන තම සංවිධානයට මඟ පෙන්වීම් දෙනවා කියන එක ගැන අපිට තියෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවාට සැකයක් නැහැ.
එහෙනම් ක්‍රියා පොත අධ්‍යයනය කරද්දී යෙහෝවා ගැන ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න. ඔබේ සේවය හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය දෙවියන් තම බලය මාර්ගයෙන් දෙනවා කියන විශ්වාසයත් තව වැඩි කරගන්න. නොකඩවා “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” දෙන්නත් අන් අයට ගැලවීම ලබාගැනීමට අවශ්‍ය උපකාර දෙන්නත් ඒක අනිවාර්යයෙන්ම ඔබව පොලඹවයි.—ක්‍රියා 28:23; 1 තිමෝ. 4:16.
ඔබේ සහෝදරයෝ,
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය