ඉදිරිපස කවරය
දුවේ පුතේ,
අතීතයේ හිටපු ප්‍රඥාවන්ත රජ කෙනෙක් මෙහෙම කිව්වා. “තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න. යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්‍රිය කරන දේ ලබාගන්න.” (දේශනාකාරයා 11:9) යෞවන කාලය කියන්නේ හරිම සුන්දර කාලයක්. දුවලා පැනලා විනෝදෙන් ඉන්න පුළුවන් කාලයක්. අපි කැමතිත් ඔයාලා ඒ කාලය හරිම සතුටින් ගෙවනවා දකින්නයි. හැබැයි දුවේ පුතේ, ඔයා කරන කියන හැම දෙයක්ම යෙහෝවා දෙවිට පේනවා කියලා අමතක කරන්න එපා. ඒ නිසා යෙහෝවා දෙවිගේ හිතට දුකක් දෙන කිසිම දෙයක් කරන්න එපා. ඔයා කරන හැම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දෙන්න ඕනේ කියලත් මතක තියාගන්න. එහෙමනම් බයිබලයේ තියෙන මේ උපදෙස හිතේ තියාගන්න එක කොච්චර වැදගත්ද! “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.”—දේශනාකාරයා 12:1.
යොවුන් වියේදී එන එක එක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්නත් දෙවිගේ මඟ පෙන්වීම් හිතට අරගෙන හොඳ තීරණ ගන්නත් මේ පොතේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ පොත කියවලා යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන විදිහට ඔයාගේ යෞවන කාලය ගෙවන්න. එහෙම කරන්න ඔයාට උදව් කරන්න කියලා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා.—හිතෝපදේශ 27:11.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය