පාඩම 21
නිසි අවධාරණයෙන් යුතුව ශුද්ධ ලියවිලි පද කියවීම
දෙවිගේ අරමුණු ගැන අන් අයට පෞද්ගලිකව හෝ වේදිකාවක සිට හෝ කතා කරන විට, ඔබේ සාකච්ඡාව කේන්ද්‍රගත විය යුත්තේ දේවවචනයෙහි සඳහන්ව ඇති දේවල් වටාය. මෙයට සාමාන්‍යයෙන් බයිබලයෙන් ශුද්ධ ලියවිලි පද කියවීම ඇතුළත් වේ. මෙම කියවීම මැනවින් කළ යුත්තකි.
නිසි අවධාරණයට හැඟීම් මුසු කළ යුතුය. ශුද්ධ ලියවිලි පද හැඟීමෙන් කියවිය යුතුය. නිදසුන් කිහිපයක් සලකා බලමු. සාමදායී කාලයක් ගැන පොරොන්දු වී ඇති ගීතාවලිය 37:11 ඔබ ශබ්ද නඟා කියවන විට, සතුටින් පිරුණු අපේක්ෂාසහගත හැඟීමක් ඔබේ කටහඬින් පිළිබිඹු විය යුතුය. දුක් කම්කටොලු සහ මරණයේ අවසානය ගැන සඳහන් කරන එළිදරව් 21:4 කියවන විට, මෙහිදී පුරෝකථනය කර ඇති සුවිශේෂ සහනය සම්බන්ධයෙන් ඔබේ කටහඬ තුළින් පිළිබිඹු විය යුත්තේ ගැඹුරු මෙන්ම උණුසුම් ඇගයීමකි. පාපයෙන් බර වූ ‘මහා බබිලෝනියෙන්’ ඉවත්ව යන්න කියා සඳහන් කරන එළිදරව් 18:2, 4, 5 කියවිය යුත්තේ කෙසේද? හදිසිතාවක් අඟවන යම් තීව්‍ර කටහඬක් ඒ සඳහා අවශ්‍යය. අප හැඟීම් හද පත්ලෙන්ම පළ කළ යුතු බව ඇත්තය. එනමුත් සීමාව ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුය. කොතරම් දුරකට හැඟීම් පළ කළ යුතුද යන්න තීරණය වන්නේ බයිබල් පදයෙහි අන්තර්ගතය සහ එය භාවිත කරන ආකාරය අනුවය.
නිවැරදි වචන අවධාරණය කරන්න. යම් පදයක් සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන අදහස් පදනම් වී ඇත්තේ එහි එක් කොටසක් මත පමණක් නම්, එම බයිබල් පදය කියවද්දී එම කොටස උලුප්පා දැක්විය යුතුය. නිදසුනකට මතෙව් 6:33 කියවනවායයි සිතන්න. ඔබට වුවමනා වී ඇත්තේ ‘පළමුකොට රාජ්‍යය සෙවීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විග්‍රහ කිරීම නම්, ‘ඔහුගේ ධර්මිෂ්ඨකම’ සහ ‘මේ සියල්ල’ යන යෙදුම්වලට අමතර කාවැද්දීමක් දීමෙන් ඔබ වැළකී සිටිය යුතුය.
සේවා රැස්වීමේදී ඉදිරිපත් කරන කතාවක ඔබ මතෙව් 28:19 කියවීමට අදහස් කරනවා විය හැක. අවධාරණය කළ යුත්තේ කවර වචනද? නිවාස බයිබල් පාඩම් ඇරඹීම සම්බන්ධයෙන් අප කඩිසර විය යුතු බව දිරිගැන්වීම ඔබේ අදහස නම්, “ගෝලයන් කරන්න” යන කොටස කාවද්දන්න. අනික් අතට, විදේශීය ජන පිරිස් සමඟ බයිබල් සත්‍යතා බෙදාගැනීමට ක්‍රිස්තියානියෙකු සතු වගකීම ගැන සාකච්ඡා කිරීමට ඔබ සැලසුම් කරනවා නම්, එසේ නැතහොත් අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට ඇතැම් ප්‍රචාරකයන්ට දිරිගැන්වීම ඔබේ අදහස නම්, “සියලු ජාතීන්” යන කොටස කාවැද්දිය හැක.
නිතරම පාහේ ශුද්ධ ලියවිලි පදයක් හඳුන්වා දෙන්නේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එසේ නැතහොත් මතභේදයට තුඩු දෙන්නක් සේ අන් අය සලකන තර්කයකට පදනම ලෙසය. එමනිසා එම බයිබල් පදයෙහි අඩංගු සෑම අදහසක්ම එක සමානව අවධාරණය කළහොත්, ප්‍රශ්නය සහ පදය අතර සම්බන්ධය තේරුම්ගැනීමට ඔබේ සබය අසමත් විය හැක. කාරණය ඔබට පැහැදිලි වුවත්, ඔවුන්ට එය අපැහැදිලි වන්නට පුළුවන.
තවත් නිදසුනක් සලකා බලන්න. දිව්‍ය නාමය සඳහන්ව ඇති බයිබලයක ගීතාවලිය 83:17න් කියවන විට, ප්‍රධාන වශයෙන් “මහෝත්තමයාණන්” යන වචනය අවධාරණය කළහොත්, දෙවිට පෞද්ගලික නාමයක් ඇති බවට ඉතා පැහැදිලි වූ කාරණය තේරුම්ගැනීමට නිවැසියා අපොහොසත් විය හැක. එසේ නම් අවධාරණය කළ යුත්තේ “යෙහෝවා” යන නාමයයි. කෙසේවෙතත්, යෙහෝවාගේ පරමාධිපත්‍යය ගැන සාකච්ඡාවක් කරන විට එම ශුද්ධ ලියවිලි පදය භාවිත කරද්දී, ඔබ ප්‍රධාන වශයෙන් “මහෝත්තමයාණන්” යන වචනය අවධාරණය කළ යුතුය. ඒ හා සමානව ඇදහිල්ලට සරිලන ක්‍රියා තිබීමේ වැදගත්කම පෙන්නුම් කිරීමට යාකොබ් 2:24 භාවිත කරන විට, “ක්‍රියා” යන වචනය වෙනුවට “ධර්මිෂ්ඨ කරනු ලබන” යන්නට මූලික අවධාරණය දීමෙන් සවන් දෙන සමහරදෙනෙකුට නියමිත කාරණය නොවැටහෙන්නට පුළුවන.
මෙහිදී උපකාරවත් වන තවත් නිදසුනක් රෝම 15:7-13හි සොයාගත හැකි වේ. මෙය ප්‍රේරිත පාවුල් විසින් අන්‍යජාතිකයන් සහ යුදෙව්වන් යන දෙපාර්ශ්වයම සිටි සභාවකට ලියන ලද ලිපියක කොටසකි. මෙහිදී පාවුල් තර්ක කරන්නේ ක්‍රිස්තුස්ගේ දේවසේවය චර්මච්ඡේදිත යුදෙව්වන්ට පමණක් නොව අන්‍යජාතිකයන්ටද ප්‍රයෝජන ගෙන දෙන බවයි. ඊට හේතුව ‘අන්‍යජාතීන් විසින් දෙවිගේ දයාව ගැන ඔහුට ගෞරවය ගෙන දෙන පිණිසය.’ ඊළඟට පාවුල් අන්‍යජාතිකයන්ට ඒ සඳහා ලැබෙන ප්‍රස්තාවට යොමු දක්වන ශුද්ධ ලියවිලි පද සතරකින් උපුටා දක්වයි. පාවුල්ගේ මනසෙහි තිබූ කාරණය අවධාරණය කිරීම සඳහා ඔබ එම උපුටා දැක්වීම් කියවිය යුත්තේ කෙසේද? කාවැද්දීම සඳහා යෙදුම් සලකුණු කිරීම ඔබේ අදහස නම්, රෝම 15 9වන පදයේ “අන්‍යජාතීන්,” රෝම 15 10වන පදයේ “අන්‍යජාතීනි,” රෝම 15 11වන පදයෙහි “සියලු වර්ගයෝ” සහ රෝම 15 12වන පදයෙහි “අන්‍යජාතීන්” යන වචන සලකුණු කරගත හැක. එම කොටස් අවධාරණය කරමින් දැන් රෝම 15:7-13 කියවීමට උත්සාහ කරන්න. ඔබ එසේ කරනවා නම්, පාවුල්ගේ තර්කය පෙළගස්වා ඇති අන්දම වඩාත් පැහැදිලි වන අතර වඩාත් පහසුවෙන් එය ග්‍රහණය කරගත හැකි වේ.
අවධාරණය කිරීමට ක්‍රම. මූලික අදහස් ගැබ්ව ඇති උලුප්පා දැක්විය යුතු වචන ක්‍රම කිහිපයකින් කාවැද්දිය හැක. භාවිත කරන ක්‍රම ශුද්ධ ලියවිලි පදයට සහ ඔබේ කතාවේ පසුබිමට ගැළපිය යුතුය. යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
කටහඬින් කාවැද්දීම. වාක්‍යයේ සෙසු කොටස්වලට වඩා මූලික අදහස් ගැබ්ව ඇති වචන ඉස්මතු කර දැක්වීමට කටහඬේ යම් වෙනසක් කිරීම මීට ඇතුළත් වේ. එසේ අවධාරණය කිරීමට ඔබේ ශබ්දය වෙනස් කළ හැකිය. එනම් ශබ්දය වැඩි කිරීමෙන් හෝ අඩු කිරීමෙනි. බොහෝ භාෂාවල තාරතාව වෙනස් කිරීමෙන්ද අමතර අවධාරණයක් දිය හැකිය. කෙසේවෙතත්, ඇතැම් භාෂාවල තාරතාව වෙනස් කිරීමෙන් වචනවල තේරුම පවා වෙනස් වන්නට පුළුවන. වාක්‍යයක වැදගත් කොටස් ශබ්ද කිරීමට අඩු වේගයක් භාවිත කරන විට ඒවාට අමතර අවධාරණයක් ලැබේ. ඇතැම් වචන අවධාරණය කිරීමට කටහඬින් කාවැද්දීමක් සිදු නොකරන භාෂාවල, අවධාරණය සඳහා එම භාෂාවේ සාමාන්‍යයෙන් කරන දේ කිරීම වැදගත්ය.
විරාම යෙදීම. ශුද්ධ ලියවිලි පදයක වැදගත් කොටස් කියවීමට පෙර හෝ පසුව නැත්නම්, ඒ අවස්ථා දෙකේදීම මෙසේ විරාම යෙදිය හැක. ප්‍රධාන අදහසක් කියවීමට පෙර විරාමයක් යොදන විට ඔබ සබය තුළ බලාපොරොත්තුවක් ජනිත කරනු ඇත. එම අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව විරාමයක් දීමෙන්, එය සිතට වඩාත් ගැඹුරින් කාවදියි. කෙසේවෙතත්, අධික ලෙස විරාම යෙදීමෙන් කිසිම දෙයක් උලුප්පා දැක්වීමට හැකි වන්නේ නැත.
නැවත කීම. එක්තරා කරුණක් අවධාරණය කිරීමට අතරමඟ නතර වී එම වචනය හෝ යෙදුම නැවත කියවිය හැක. සාමාන්‍යයෙන් වඩාත්ම හොඳ දේ වන්නේ පදය සම්පූර්ණයෙන්ම කියවා ප්‍රධාන යෙදුම නැවත කීමයි.
අභිනය. අංග චලනය කිරීමෙන් හා මුහුණේ ඉරියව්වලින් යම් වචනයකට හෝ යෙදුමකට හැඟීමක් මුසු කරයි.
කටහඬේ ස්වරය. ඇතැම් භාෂාවල, වචනයක තේරුමට යම් බලපෑමක් කිරීමට හෝ එය උලුප්පා දැක්වීම සඳහා කටහඬේ ස්වරය ඇතැම්විට භාවිත කළ හැක. මෙහිදීද, විශේෂයෙන් යමක් උපහාසයෙන් මෙන් කියන විටදී එය අවස්ථාවට උචිතද යන්න සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගත යුතුය.
වෙනත් කෙනෙක් බයිබල් පද කියවන විට. නිවැසියා ශුද්ධ ලියවිලි පදයක් කියවන විට එහි වැරදි වචන කාවැද්දිය හැක. එසේ නැතහොත් ඒකාකාර ස්වරයකින් එය කියවිය හැක. එවිට ඔබට කුමක් කළ හැකිද? අර්ථය පැහැදිලි කිරීමට එම බයිබල් පදවල අදාළත්වය ඔබ විසින්ම පැහැදිලි කිරීම මෙවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් කළ හැකි හොඳම දෙයයි. අදාළත්වය පැහැදිලි කිරීමෙන් අනතුරුව, බයිබලයේ මූලික අදහස ගැබ්ව ඇති වචනවලට කෙළින්ම විශේෂ අවධානයක් දෙන්නට පුළුවන.