ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 16 පාඩම 135 පි.-138 පි. 5 ¶
  • තැන්පත් ස්වභාවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තැන්පත් ස්වභාවය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • තැන්පත් ස්වභාවය (ඉරියව්ව) සහ පුද්ගලික පෙනුම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?
    2004 පිබිදෙව්!
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උනන්දුව අවදි කරවන හැඳින්වීමක්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 16 පාඩම 135 පි.-138 පි. 5 ¶

පාඩම 16

තැන්පත් ස්වභාවය

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ තැන්පත් ස්වභාවයකින් සිටින බව විදහාපෙන්වමින් නිවුණු, ගෞරවාන්විත අන්දමකින් සිටගන්න. අංග චලනය කරන්න. කතා කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබට තැන්පත් ස්වභාවයක් ඇත්නම්, සබයේ අවධානය ඔබ වෙත ඇදී එනවා වෙනුවට ඔබ කියන දේ වෙත යොමුවීමට ඇති ඉඩ කඩ වැඩිය.

කථිකයෙකු නිතර නිතර කතා දෙන්නේ නැත්නම්, කතාවක් දීමට වේදිකාවට යන විට ඔහුට යම් චකිතයක් දැනීම ස්වාභාවික දෙයකි. ක්ෂේත්‍ර සේවයෙහි මුල්ම ගෙවල් කිහිපය වෙත පිවිසෙන විටත් ප්‍රචාරකයෙකුට යම් බියක් ඇති වන්නට පුළුවන. අනාගතවක්තෘවරයෙකු ලෙස පැවරුම් ලැබූ විට, යෙරෙමියා ප්‍රතිචාරය දැක්වූයේ මෙලෙසය. “මා ළාබාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි.” (යෙරෙ. 1:5, 6, න. අ.) යෙහෝවා යෙරෙමියාට උපකාර කළාක් මෙන් ඔබටද උපකාර කරනු නියතය. කල් යත්ම ඔබටද තැන්පත් ස්වභාවයක් වර්ධනය කරගත හැකි වේ.

තැන්පත් කථිකයෙකු යනු සන්සුන්ව කටයුතු කරන්නෙකි. මෙම සන්සුන්කම ඔහුගේ සිරුරේ ඉරියව්වලින් දැකගත හැකි වේ. ඔහුගේ ඉරියව්ව ස්වාභාවිකය, අවස්ථාවට උචිතය. තම අත් පාවිච්චි කරන්නේ අර්ථවත් අන්දමිනි. ඔහුගේ කටහඬට හැඟීම් මුසු වී ඇති අතර, එය මනා සංයමයකින් යුතුව භාවිත කෙරේ.

තැන්පත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් දී ඇති මෙම විස්තරය ඔබට ගැළපෙන්නේ නැති බව හැඟුණත්, වැඩිදියුණු වීමට ඔබට පුළුවන. කෙසේද? කථිකයෙකුට චකිතයක් ඇති වී තැන්පත්කම නැති වී යෑමට හේතු සලකා බලන්න. සමහරවිට හේතුව ශාරීරික යමක් විය හැක.

සාමාන්‍යයෙන් අභියෝගයකට මුහුණ දෙන විට, එම තත්වය හොඳින් හැසිරවීමට ආශාවක් තිබුණත් ඒ පිළිබඳව නිසැකකමක් ඔබට නැති විටදී ඔබට දැනෙන්නේ යම් කාන්සාවකි. ප්‍රතිඵලයක් ලෙස ඔබේ මොළය ශරීරයට තවත් ඇඩ්රිනලීන් නිපදවීමට සංඥා කරයි. මෙසේ ස්‍රාවය වන ඇඩ්රිනලීන් ප්‍රමාණය වැඩි වන නිසා, හෘද ස්පන්දනය වේගවත් වේ. හුස්මගැනීමේ වේගයද වැඩි වේ. අනික් අතට, දහඩිය දැමීම වැඩි විය හැකි අතර අත් පා දණිස් පවා ගැහෙන්නටද පුළුවන. මීට අමතරව, කටහඬේද යම් වෙවුලන ගතියක් ඇති වේ. මෙවැනි ලක්ෂණවලින් පැහැදිලි වන්නේ ඔබට මුහුණ දීමට සිදු වන තත්වයට මුහුණ දීමට ඔබට උදව් වීම සඳහා ඔබේ ශරීරය ඔබේ ශක්ති මට්ටම වැඩි කරන බවය. මෙහිදී අභියෝගය වන්නේ ඔබට ලැබී තිබෙන මෙම අමතර ශක්තිය පැහැදිලිව කල්පනා කිරීම සඳහාත්, උද්‍යෝගයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහාත් යොදාගැනීමය.

කාන්සාව අඩු කරගත හැකි අන්දම. යම් දුරකට යම් කාන්සාවක් දැනීම සාමාන්‍ය දෙයක් බව මතක තබාගන්න. කෙසේවෙතත්, තැන්පත් ස්වභාවයක් පවත්වාගැනීමට නම්, ඔබට කාන්සාව දැනෙන ප්‍රමාණය අඩු කර, ඔබට තිබෙන අභියෝගයට සන්සුන්ව සහ ගෞරවාන්විත ආකාරයකින් මුහුණ දීම අවශ්‍යය. මෙය ඉටු කරගත හැක්කේ කෙසේද?

හොඳින් සූදානම් වන්න. ඔබේ කතාව සූදානම් කිරීමේ කටයුත්තට ප්‍රමාණවත් කාලයක් මිඩංගු කරන්න. ඔබේ විෂය ඔබට පැහැදිලි බවට සහතික වන්න. කතාවකදී සාකච්ඡා කළ යුත්තේ කවර කරුණුද යන්න තීරණය කිරීම ඔබට භාර වන අවස්ථාවලදී, විෂය ගැන ඔබේ සබය දැනටමත් දන්නා කරුණු මොනවාද යන්නත්, කරුණුවලින් ඔබ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද යන්නත් සැලකිල්ලට ගන්න. මෙසේ කිරීමෙන් උපරිම ප්‍රයෝජනයක් විය හැකි තොරතුරු තෝරාගැනීම පහසු වේ. මෙවැනි දෙයක් මුලදී තනිව කිරීම ඔබට අසීරු යමක් සේ දැනෙනවා නම්, අද්දැකීම් ඇති කථිකයෙකු සමඟ ඔබේ ගැටලුව සාකච්ඡා කරන්න. ඔබේ තොරතුරු පිළිබඳවද, සබය පිළිබඳවද ඉතා ප්‍රායෝගික ආකාරයකින් විග්‍රහ කර බැලීමට ඔබට උපකාර කරන්නට ඔහුට පුළුවන. ඔබේ සබයට ප්‍රයෝජනවත් වන තොරතුරු මොනවාද යන්න ගැන ඔබ නිසැක වන විටත්, එම තොරතුරු ඔබේ මනසෙහි පැහැදිලිව සනිටුහන් කරගන්නා විටත්, කතාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැනිය හැකි කාන්සාවට වඩා එම තොරතුරු අන් අය සමඟ බෙදාගැනීමේ ආශාව ප්‍රබල වේ.

ඔබේ හැඳින්වීමට විශේෂ අවධානයක් යොමු කරන්න. කතාව ආරම්භ කරන්නේ කෙසේද යන්න ඔබ හොඳින් දැනගෙන සිටිය යුතුය. කතාව පටන්ගෙන මද වේලාවක් ගියායින් පසු, ඔබට තිබෙන බිය, චකිතය නැති වී යා හැක.

ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වන විටදීද අදාළ වන්නේ මෙම මූලික පියවරයි. සාකච්ඡා කිරීමට අදහස් කරන විෂය පමණක් නොව, ඔබ සාක්ෂි දරන පුද්ගලයන් කොයි ආකාරදැයි සලකා බලන්න. ඔබේ හැඳින්වීම පරෙස්සමින් සැලසුම් කරගන්න. මේරූ ප්‍රචාරකයන්ගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ලබන්න.

කණ්ඩායමක් ඉදිරියෙහි කතාවක් දීමට සිදු වන විට, ලේඛනයක් භාවිත කිරීමෙන් වඩා තැන්පත් ලෙස කතාව දීමට හැකි වෙයි කියා ඔබට සිතිය හැක. කෙසේවෙතත්, සමහරවිට සිදු වන්නේ මීට ප්‍රතිවිරුද්ධ දෙයයි. කතාවක් දෙන සෑම අවස්ථාවකදීම ඔබට දැනෙන කාන්සාව තවත් වැඩි වන්නට පුළුවන! ඇතැම් කථිකයන්ගේ කෙටි සටහන් සෑහෙන විස්තරාත්මක ඒවා බවත්, වෙනත් කථිකයන්ගේ කෙටි සටහන්වල විස්තර අඩු බවත් ඇත්තය. එනමුත් යම් කොළයක තිබෙන වචන ඔබේ සිතුවිලි යොමු වන දිශාව වෙනස් කිරීමටත් ඔබට දැනෙන කාන්සාව අඩු කිරීමටත් හේතු වන්නේ නැත. වෙනසක් කරන්නේ ඔබ සබය වෙනුවෙන් සූදානම් කර ඇති දේ ඇත්තෙන්ම ප්‍රයෝජනදායක බවට වූ ඔබේ හදවතෙහි තිබෙන ස්ථිර විශ්වාසයයි.

ඔබේ ඉදිරිපත් කිරීම ශබ්ද නඟා පෙරහුරු කරන්න. මෙලෙස පෙරහුරු කිරීමෙන් ඔබේ අදහස් වචනවලට පහසුවෙන් පරිවර්තනය කිරීමට ආධාරක වන නිසැකකමක් ඔබට ලැබෙයි. පෙරහුරු කරන විට, ඔබේ මතකයේ යම් සිතුවිලි රටාවක් ගොඩනැංවෙන බව පැවසිය හැක. කතාව දෙන විට එම සිතුවිලි රටාවන් පහසුවෙන් අවදි කරගත හැකි වේ. පෙරහුරුව කරන විට එය තාත්වික අන්දමකින් කරන්න. ඔබේ සබයේ සිටින්නේ කවුදැයි සිතින් මවාගන්න. ඇත්තටම කතාවක් දෙන්නාක් මෙන් මේසයක් අසල සිටගෙන පෙරහුරු කරන්න.

උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. එවැනි යාච්ඤාවකට ඔහු පිළිතුරු දේවිද? “ඔහු ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප ඔහුගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් ඔහු අපේ ඉල්ලීම අසන බවය.” (1 යොහ. 5:14) ඔබේ ආශාව දෙවිට ගෞරවය කිරීම හා ඔහුගේ වචනයෙන් මිනිසුන්ට උපකාර කිරීම නම්, ඔබේ යාච්ඤාවට පිළිතුරු ලැබෙනවා නිසැකය. ඒ නිසැකකම ඔබේ පැවරුම හරියාකාරව ඉටු කිරීමට මහෝපකාරි වන අතර, එය ඔබව ශක්තිමත් කරයි. මීට අමතරව, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මෘදුකම සහ ආත්ම-දමනය ආදි ආත්මයේ ඵල නිපදවද්දී පැනනඟින තත්වයන් තැන්පත් ස්වභාවයකින් හැසිරවීමට අවශ්‍ය මානසික ආකල්පය ඇති කරගැනීමට ඔබ සමත් වනු ඇත.—ගලා. 5:22, 23.

අද්දැකීම් ලබාගන්න. ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන තරමට ඔබේ චකිතය ඔබෙන් දුරු වේවි. සභා රැස්වීම්වලදී අදහස් දක්වන තරමට අන් අය ඉදිරියෙහි කතා කිරීමද පහසු වනු ඇත. ඒත් සමඟම සභාවෙහි ඔබ ඉදිරිපත් කරන කතාවල සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් වැඩි වෙත්ම, දෙන සෑම කතාවක් සම්බන්ධයෙන් ඔබට දැනෙන කාන්සාව සමහරවිට අඩු වී යයි. කතා කිරීමට වැඩිමනත් අවස්ථා ලැබෙනවාට ඔබ කැමතිද? පාසැලේදී වෙනත් අය තම පැවරුම් හදිස්සියේ ඉටු කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් කතා දීමට ඉදිරිපත් වන්න.

ඉහත දක්වා ඇති පියවර ගැනීමෙන් අනතුරුව, තැන්පත් ස්වභාවයේ ඌනතාවකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන ලක්ෂණ පරීක්ෂා කර බැලීමට ඒව ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ලක්ෂණ හඳුනාගෙන ඒවා සමඟ කටයුතු කිරීමට ඉගෙනගැනීම, තැන්පත් ස්වභාවයකින් යුතුව කතා කිරීමට ඔබට බෙහෙවින් උපකාරවත් වේවි. එම ලක්ෂණ ශාරීරික ඒවා හෝ ඔබේ කටහඬ හා සම්බන්ධ ඒවා විය හැකිය.

ශාරීරික ලක්ෂණ. ඔබට තැන්පත් ස්වභාවයක් තිබෙනවාද නැද්ද යන්න පැහැදිලි වන්නේ ඔබේ ශරීරයේ ඉරියව්වලින් සහ ඔබේ අත් භාවිත කරන ආකාරයෙනි. මුලින්ම අත් සලකා බලමු. තැන්පත් ස්වභාවය නොමැති බවට අඟවන සමහරක් ලක්ෂණ සලකා බලන්න. අත් දෙක දැඩි ලෙස සිරුර පිටුපස බැඳ තබාගැනීම, අත් සිරුර දෙපස ඍජුව තබාගැනීම, කථික පුවරුව තදින් අල්ලාගැනීම, නිතරම ඔබේ අත් කලිසමේ සාක්කුවලට දමා ඉවතට ගැනීම, ඇඟිලිවලින් කමිසයේ බොත්තමක් ගැළවීම හෝ දැමීම, කිසිම හේතුවක් නොමැතිව අතින් කම්මුල, නාසය, උපැස් යුවළ ඇල්ලීම, අතින් නිතර නිතර ඔරලෝසුව, පැන්සල, මුද්ද හෝ කෙටි සටහන් ඇල්ලීම, ගැස්සී හෝ බාගෙට අතින් අභිනය කිරීම යනාදිය මීට ඇතුළත් වේ.

නිතරම ඔබේ පාද සෙලවීම, ශරීරයේ එක පැත්තක සිට අනික් පැත්තට පැද්දීම, ඉතා ඍජු ඉරියව්වකින් සිටගෙන සිටීම, කුදු වී සිටගැනීම, නිතරම දිවෙන් තොල් තෙමීම, නිතරම කෙළ ගිලීම, වේගයෙන් සහ සැහැල්ලුවට හුස්මගැනීම වැනි ලක්ෂණවලින්ද නිසැකකමේ අඩුවක් ඇඟවිය හැක.

ඔබ යම් උත්සාහයක් දරනවා නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් බිය සහ චකිතය පළ වන මෙවැනි ලක්ෂණ පාලනය කරගත හැකි වේ. ඒවා එකිනෙක ක්‍රමක්‍රමයෙන් දුරු කිරීමට උත්සාහ දරන්න. ඒ සඳහා ගැටලුව හඳුනාගෙන, එය වළක්වාගැනීමට කුමක් කළ යුතුදැයි කල්තියාම සලකා බලන්න. එසේ වෑයමක් දරනවා නම්, ඔබේ ශරීරයේ ඉරියව්වලින් මනා තැන්පත් ස්වභාවයක් පිළිබිඹු වනවා නිසැකය.

කටහඬේ ලක්ෂණ. චකිතයක් ඇති බව ඔබේ කටහඬෙන් පිළිබිඹු වන්නේ කෙසේද? සමහරවිට කටහඬේ ස්වරය හෝ තීව්‍රතාව අධික මට්ටමක තිබිය හැක. තවද ඔබේ කටහඬ වෙවුලනවා වන්නට පුළුවන. එසේ නැතහොත් ඔබ නිතරම උගුරේ රැල් බුරුල් ඇරීමට හෝ පමණ ඉක්මවා වේගයකින් කතා කිරීමට නැඹුරු වෙනවා ඇති. ඔබේ කටහඬ පාලනය කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා නම්, මෙවැනි ගැටලු සහ ගතිලක්ෂණ ජයගත හැකි වේ.

ඔබට චකිතයක් දැනේ නම්, වේදිකාව වෙතට පිවිසෙන්නට කලින් මදක් නතර වී ගැඹුරු හුස්ම කිහිපයක් හෙළන්න. ඔබේ මුළු ශරීරය සැහැල්ලුවෙන් තබාගැනීමට වෙර දරන්න. ඔබට දැනෙන චකිතය ගැන සිත සිතා සිටිනවා වෙනුවට, ඔබ සූදානම් කර ඇති දේවල් සබය සමඟ බෙදාගැනීමට ඔබ ආශාවෙන් සිටින්නේ මන්ද යන්න කෙරෙහි ඔබේ සිතුවිලි යොමු කරගන්න. ඔබේ කතාව පටන්ගැනීමට පෙර, මොහොතකට ඔබේ සබය දෙස බලා, ඒ අතුරින් මිත්‍රශීලී කෙනෙකු දෙස බලා සිනහවක් පාන්න. හැඳින්වීම ඉදිරිපත් කරද්දී හෙමින් කතා කරන්න. අනතුරුව, ඔබේ කතාවට හොඳින් අවතීර්ණ වන්න.

අපේක්ෂා කළ යුතු දෑ. බයාදු හැඟීම් ඉබේටම අතුරුදහන් වෙයි කියා අපේක්ෂා නොකරන්න. වසර ගණනාවක් පුරා අද්දැකීම් ලබා ඇති කථිකයන් බොහෝදෙනෙකු පවා සබයක් ඉදිරියෙහි සිටගන්නා විට ඔවුන්ට චකිතයක් දැනේ. කෙසේවෙතත්, ඔවුන් තම බිය සහ චකිතය පාලනය කිරීමට ඉගෙනගෙන ඇත. එවැනි කථිකයෙක් මෙසේ පැවසීය. “මට තවමත් හීන් දාඩිය දානවා. නමුත් මගේ භය මට පාලනය කරගන්න පුළුවන්.”

චකිතයක් ඇති බවට තිබෙන බාහිර ලක්ෂණ දුරු කිරීමට ඔබ අවංක වෑයමක් දැරුවොත්, ඔබ ඉතා තැන්පත් කථිකයෙකු ලෙස සැලකීමට ඔබේ සබය පුරුදු වේවි. ඔබට තවමත් චකිතයක් දැනුණද, ඒ බව ඔවුන්ට නොදැනෙනවා ඇති.

ඇඩ්රිනලීන් මට්ටම ඉහළ යෑමෙන් චකිතයක් ඇති බවට ලක්ෂණ ඇති වුවත්, එයින් ඔබට අමතර ශක්තියක් ලැබෙන බවද මතක තබාගන්න. හැඟීමෙන් යුතුව කතා කිරීමට එම ශක්තිය යොදාගන්න.

මේ දේවල් සියල්ල පෙරහුරු කිරීමට වේදිකාවෙන් කතාවක් දීමට සිදු වන තෙක් බලා සිටීම අවශ්‍ය නැත. ඔබේ දෛනික ජීවිතයේ වුවත් තැන්පත්කමින්, පාලනයකින් යුතුව හා යෝග්‍ය හැඟීම් ඇතුව කතා කිරීමට ඉගෙනගන්න. එසේ කළහොත් වඩාත්ම වැදගත් අවස්ථා දෙක වන වේදිකාවේ සහ ක්ෂේත්‍ර සේවයේදී නිසැකකමින් යුතුව කතා කිරීමට එය රුකුලක් වනවා නොඅනුමානය.

තැන්පත් ස්වභාවයක් ඇති කරගත හැකි අන්දම

  • හොඳින් සූදානම් වන්න.

  • කතාව ඉදිරිපත් කරන ආකාරය ශබ්ද නඟා පෙරහුරු කරන්න

  • යාච්ඤාවෙන් “ඔබේ බර යෙහෝවා පිටට වීසි කර දමන්න.”—ගීතා. 55:22, NW.

  • නිතිපතා ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන්න. නිතරම පාහේ රැස්වීම්වලදී අදහස් දක්වන්න. තවද පාසැලේ අමතර පැවරුම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න.

  • තැන්පත් ස්වභාවයේ ඌනතාවක් ඇති බවට අඟවන ලක්ෂණ හඳුනාගෙන, ඒවා වැළැක්වීමට හෝ පාලනය කිරීමට ඉගෙනගන්න.

අභ්‍යාසය: මාසයකට පමණ සතිපතා මුරටැඹ පාඩමේදී සහ සභා පොත් පාඩමේදී එක් වතාවකට වැඩියෙන් අදහස් දැක්වීමට උත්සාහ කරන්න. එකම රැස්වීමේදී දෙවන හෝ තුන්වන වතාවට අදහස් දක්වන විට ඔබට දැනෙන චකිතය කෙමෙන් කෙමෙන් අඩු වී යන ආකාරය නිරීක්ෂණය කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න