126වෙනි පරිච්ඡේදය
“සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය”
යේසුස් කණුවේ ඇණ ගසා වැඩි වේලාවක් ගත වෙන්න කලින්, දවල් 12ට විතර මුළු ප්‍රදේශයම පුදුමාකාර ලෙස අන්ධකාරයෙන් වැසී යනවා. එය පැය තුනක් පුරාම පවතිනවා. මෙය සූර්ය-ග්‍රහණයක් නිසා ඇති වන අන්ධකාරයක් නොවෙයි. මන්ද ඒ වගේ දෙයක් සිදු වන්නේ හඳක් දකින්න නොලැබෙන කාලයේදී විතරයි. මේ පාස්කු කාලයයි. ඒ නිසා දැන් දක්නට තිබෙන්නේ පුර හඳයි. ඒ විතරක් නොවෙයි, සූර්ය ග්‍රහණයක් පවතින්නේ විනාඩි කිහිපයක් පමණයි. ඉතිං, මේ අන්ධකාරය ඇති කර තිබෙන්නේ දෙවි බව පැහැදිලියි! සමහරවිට යේසුස්ට සමච්චල් කරන අයගේ කටවල් මදකට වැසෙන්න ඇති. ඔවුන්ගේ නින්දාසහගත බස් සම්පූර්ණයෙන්ම වාගේ නතර වන්නත් ඇති.
මෙම බියකරු විපර්යාසය සිදු වුණේ අපරාධකරුවන්ගෙන් කෙනෙක් තම මිතුරාට තරවටු කිරීමටත් තමාව සිහි කරන මෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටීමටත් පෙර නම් ඔහුගේ පසුතැවිලි වීමට එය හේතුවක් වූවා විය හැකියි. ස්ත්‍රීන් සතරදෙනෙක් වධකණුව ළඟට යන්නේ මේ අන්ධකාරය පවතින අතරතුරේ වෙන්න ඇති. එසේ යන්නේ යේසුස්ගේ මව, ඇගේ සහෝදරී වන සලෝමි, මරියා මග්දලේනා සහ කුඩා යාකොබ් නම් වූ ප්‍රේරිතයාගේ මව වන මරියායි. යේසුස් ප්‍රේම කළ ප්‍රේරිතයා වන යොහන්ද ඔවුන් සමඟ සිටිනවා.
යේසුස්ගේ මව, කිරි දී ඇති දැඩි කළ ඇගේ පුත්‍රයා දරාගත නොහැකි වේදනාවකින් වධකණුවේ එල්ලී සිටිනවා දකිද්දී ඇයට දැනෙන වේදනාව මොන තරම්ද! එය තියුණු කඩුවක් මෙන් ඇගේ හද “පසාරු කරගෙන” යන බව නිසැකයි. ඒත් යේසුස් සිතන්නේ තමාගේ වේදනාව ගැන නොව මවගේ ශුභසිද්ධිය ගැනයි. ඔහු මහත් ආයාසයක් දරමින් ප්‍රථමයෙන් තම මව දෙස බලා ඉන්පසු යොහන් දෙසට හිස හරවමින් මෙසේ කියනවා. “ස්ත්‍රිය, මෙන්න! ඔබේ පුත්‍රයා!” ඊළඟට ඔහු යොහන්ට මරියාව පෙන්වමින් පවසන්නේ, “මෙන්න! ඔබේ මව” කියායි.
මේ විදිහට යේසුස්, තම මවගේ ඕනෑ එපාකම් බලාගැනීමේ වගකීම විශ්වාසයෙන් යුතුව භාර දෙන්නේ තමා වැඩියෙන්ම ප්‍රේම කරන ප්රේරිතයාටයි. ඔහුගේ මව දැන් වැන්දඹුවක්ව සිටින බව පැහැදිලියි. ඔහු මරියාව යොහන්ට භාර දෙන්නේ ඇගේ අනෙක් පුතුන් ඔහු කෙරෙහි තවමත් ඇදහිල්ල පෙන්නුම් කර නැති නිසයි. මෙසේ තම මවගේ ශාරීරික අවශ්‍යතා ගැන පමණක් නොවෙයි, ඇගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම ගැනත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔහු කදිම ආදර්ශයක් තබනවා.
පස්වරු තුනට පමණ, “මට පිපාසය” කියා යේසුස් පවසනවා. යේසුස්ට දැනෙන්නේ තම පියා දෙන ආරක්ෂාව ඔහුගෙන් අයින් කර ඇති බවයි. මෙසේ කරන්නේ ඔහුගේ අඛණ්ඩතාව උපරිමයට පරීක්ෂා කිරීමට හැකි වන පිණිසයි. ඒ නිසා මහත් හඬකින් ඔහු මෙසේ පවසනවා. “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්ද?” මෙය ඇසෙන විට, ඒ ළඟ සිටින සමහරු කියන්නේ “අන්න! ඔහු එලියාට හඬගසන්නේය” කියායි. වහාම එතැන සිටින එක්තරා කෙනෙක් දුව ගොස් ඇඹුල් වයින්වල පෙඟවූ ස්පොන්ජියක් බට දණ්ඩක ගසා ඔහුට බොන්න දෙනවා. එහෙත් අනිත් අය පවසන්නේ, “ඔහුට ඉන්න හරින්න! එලියා ඇවිත් ඔහුව පහතට ගනීවිදැයි බලමු” කියායි.
යේසුස් ඇඹුල් වයින් ගත් පසු, “එය ඉටු වී තිබේ” කියා මහත් හඬකින් පවසනවා. ඔහුගේ පියා ඔහුට පොළොවේදී ඉටු කිරීමට දුන් සෑම දෙයක්ම දැන් ඔහු ඉටු කර තිබෙනවා. අන්තිමේදී, ඔහු පවසන්නේ මෙසේයි. “පියාණෙනි, ඔබේ අතට මාගේ ආත්මය භාර දෙමි.” යේසුස් මෙසේ, දෙවි තමාව යළි ජීවත් කරවයි යන නිසැකකම ඇතුව තම ජීව බලය දෙවිට භාර දෙනවා. ඉන්පසු ඔහු තම හිස නමා අවසන් හුස්ම හෙළනවා.
යේසුස් තම අන්තිම හුස්ම හෙළන මොහොතේ දරුණු භූමිකම්පාවක් සිදු වී පර්වත පැළෙනවා. යෙරුසලමෙන් පිට තිබෙන සොහොන් ගෙවල් විවර වී මළ කඳන් පිටතට වීසි වන තරමටම භූමිකම්පාව ප්‍රබලයි. පිටතට වීසි වී ඇති මළ කඳන් දකින මඟීන් නුවරට ඇතුල් වී ඒ ගැන වාර්තා කරනවා.
එපමණක්ද නොව, යේසුස් මිය යන මොහොතේදී දේවමාලිගාවේ ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානයෙන් වෙන් කරන විශාල තිරය ඉහළ සිට පහළ දක්වාම ඉරී යනවා. පෙනෙන ආකාරයට අලංකාර සැරසිලිවලින් යුත් මෙම තිරය මීටර් 18ක් පමණ උසයි. ඒ වගේම එය ඉතා බරයි! මෙම පුදුමාකාර ප්රාතිහාර්යය මගින් දෙවි තම පුත්‍රයාව මරණයට පත් කරන අය කෙරෙහි දක්වන උදහස පිළිබිඹු වෙනවා. ඒ විතරක් නොවෙයි, යේසුස්ගේ මරණය මාර්ගයෙන් අතිශුද්ධස්ථානයට හෙවත් ස්වර්ගයට යෑම සඳහා මඟ විවර වී ඇති බවක් ඉන් සංකේතවත් කරනවා.
භූමිකම්පාව දැනෙන විටත් සිදු වන අනෙක් දේවල් දකින විටත් මිනිස්සු ගොඩක් භය වෙනවා. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම භාරව සිටින හමුදා නිලධාරියා දෙවිට ප්‍රශංසා කිරීමට පටන්ගෙන, “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයා” කියා ඔහු ප්‍රකාශ කරනවා. පිලාත් ඉදිරියෙහි යේසුස්ගේ නඩු විභාගයේදී ඔහු දෙවිගේ පුත්‍රයා බවට වූ කාරණය සාකච්ඡා කරනු ලැබූ විට ඔහු එතැන සිටියා විය හැකියි. එහෙත් දැන්, යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ඔහු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන බවත් ඔහුට කිසිම සැකයක් නැහැ.
මෙම ආශ්චර්යවත් සිද්ධීන් ගැන වෙනත් අයටත් පැහැදීමක් ඇති වන අතර දැඩි ශෝකයෙන් හා ලජ්ජාවෙන් යුතුව තමන්ගේ පපුවට ගසාගනිමින් ඔවුන් තම නිවෙස් බලා යනවා. යේසුස්ව අනුගමනය කරමින් සිටින කාන්තාවන් බොහෝදෙනෙක් මදක් ඈතින් සිටගෙන සිදු වන දේ බලා සිටින අතර මෙම මවිතකර සිදුවීම් ඔවුන් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලියි. ප්‍රේරිත යොහන්ද එතැන සිටිනවා. මතෙව් 27:45-56; මාක් 15:33-41; ලූක් 23:44-49; 2:34, 35; යොහන් 19:25-30; NW.
▪ පැය තුනක් පුරා පවතින අන්ධකාරය සූර්ය ග්‍රහණයක් නොවිය හැක්කේ මන්ද?
▪ යේසුස් තම මරණයට සුළු මොහොතකට කලින්, මහලු දෙමාපියන් සිටින අය සඳහා තබන කදිම ආදර්ශය කුමක්ද?
▪ යේසුස් මිය යෑමට පෙර අවසන් වරට කරන ප්‍රකාශ සතර මොනවාද?
▪ භූමිකම්පාවෙන් ඇති වන ප්‍රතිඵල කුමක්ද? දේවමාලිගාවේ තිරය දෙකට ඉරී යෑමෙන් අඟවන්නේ කුමක්ද?
▪ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම භාරව සිටින හමුදා නිලධාරියාට ආශ්චර්යයන් මගින් ඇති වන බලපෑම කුමක්ද?