108වෙනි පරිච්ඡේදය
යේසුස්ව හසු කරගන්නට ඔවුන් අසමත් වෙයි
යේසුස් දේවමාලිගාවේ උගන්වමින් සිටි නිසාත් ආගමික වශයෙන් ඔහුට සතුරුකම්පාන අයගේ දුෂ්ටකම හෙළි කරන උපමා තුනක් කියා දුන් නිසාත් පරිසිවරුන් කෝපයට පත් වී සිටිනවා. ඔවුන් දැන් කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි, වැරදි යමක් කීමට සලස්වා ඔහුව හසු කරගැනීමටයි. කුමන්ත්‍රණයක් යෙදුවායින් පසු ඔවුන් යේසුස්ව හසු කරගැනීමට ඔවුන්ගේ ගෝලයන්වත් හෙරොද්ගේ පක්ෂයේ අයවත් ඔහු වෙතට යවනවා.
ඔවුන් පවසන්නේ මෙසේයි. “ගුරුතුමෙනි, ඔබ සත්‍යය කතා කරන බවත් සත්‍යයට අනුව දෙවිගේ මාර්ගය උගන්වන බවත් අපි දනිමු. තවද, ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස නොබලන හෙයින් ඔබ කිසිවෙකුටවත් විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දනිමු. ඒ නිසා ඔබ මේ ගැන සිතන්නේ කුමක්දැයි අපට කියන්න. සීසර්ට ඇඟ බද්ද ගෙවිය යුතුද නැද්ද?”
යේසුස් ඔවුන්ගේ චාටු බස්වලට රැවටෙන්නේ නැහැ. ඔහු දන්නවා, ‘නැහැ, මේ බද්ද ගෙවීම නීත්‍යනුකූල වන්නේවත් සුදුසු වන්නේවත් නැහැ’ කියා පැවසුවොත් රෝම අධිරාජ්‍යයට ද්‍රෝහිවීමේ වරදට හසු වෙයි කියා. එහෙත්, ‘ඔව්, ඔබ මේ බද්ද ගෙවිය යුතුයි’ කියා පැවසුවොත් රෝම අධිරාජ්‍යයේ ආධිපත්‍යයට පිළිකුල් කරන යුදෙව්වරුන් ඔහුට වෛර කරාවි. ඒ නිසා, ඔහු මෙසේ පිළිතුරු දෙනවා. “කුහකයෙනි, ඔබ මාව පරීක්ෂා කරන්නේ මන්ද? ඇඟ බද්ද ගෙවන කාසිය මට පෙන්වන්න.”
ඔවුන් ඔහු වෙතට කාසියක් ගෙනා විට, “මේ රූපයත් සටහනත් කාගෙද” කියා ඔහු අසනවා.
“සීසර්ගේ” කියා ඔවුන් පිළිතුරු දෙනවා.
එවිට යේසුස් පවසන්නේ, “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න” කියායි. යේසුස් දක්ෂ ලෙස පිළිතුර දුන් ආකාරය අසන විට ඔවුන් මවිතයට පත් වෙනවා. ඉන්පසු, ඔවුන් ඔහුව අත්හැර එතැනින් යනවා.
යේසුස්ව හසු කරගැනීමට පරිසිවරුන්ට නොහැකි වන බව දකින විට නැවත නැඟිටීමක් නැහැයි කියා පවසන සද්දුසිවරුන් ඔහු වෙතට ගොස් මෙසේ අසනවා. “ගුරුතුමෙනි, ‘මිනිසෙකුට දරුවන් නොසිට මිය ගියොත්, ඔහුගේ සහෝදරයා ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයා වෙනුවෙන් දරුවන් ඉපදවිය යුතුය’ යි මෝසෙස් කියා තිබේ. අප අතර සහෝදරයෝ හත්දෙනෙක් සිටියහ. පළමුවැන්නා විවාහ වූ පසු මියගියේය. ඔහුට දරුවන් නොසිටි හෙයින් ඔහුගේ බිරිඳ තම සහෝදරයාට භාර වූවාය. දෙවෙනියා, තුන්වෙනියා සහ හත්වෙනියා දක්වාද එසේම සිදු විය. සියල්ලන්ට පසුව ස්ත්‍රියද මිය ගියාය. ඒ හැමදෙනාම ඇයව විවාහ කරගත් බැවින්, නැවත නැඟිටීමේදී ඇය හත්දෙනාගෙන් කාගේ බිරිඳ වන්නේද?”
යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “ඔබ වැරදි ලෙස වටහාගෙන තිබෙන්නේ ශුද්ධ ලියවිලිවත් දෙවිගේ බලයවත් නොදන්න නිසා නොවේද? මන්ද, මළවුන්ගෙන් නැඟිටින විට, මිනිසුන් විවාහ වන්නේවත් ස්ත්‍රීන්ව විවාහ කර දෙන්නේවත් නැත. ඔවුහු ස්වර්ගයේ දේවදූතයන් මෙන් සිටින්නෝය. නමුත් මළවුන් නැවත නැඟිටුවනු ලබන බව, මෝසෙස්ගේ පොතෙහි සඳහන් කටු පඳුර පිළිබඳ වාර්තාවේ ඔබ කියෙව්වේ නැද්ද? එනම්, ‘මම ආබ්‍රහම්ගේ දෙවිය, ඊසාක්ගේ දෙවිය, යාකොබ්ගේ දෙවිය’ යි දෙවි මෝසෙස්ට කීවේය. ඔහු මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවි කෙනෙක්ය. ඔබ බොහෝ සෙයින් වැරදි ලෙස වටහාගෙන තිබේ.”
යේසුස්ගේ පිළිතුරෙන් සෙනඟ නැවතත් විස්මයට පත් වෙනවා. සමහර ලියන්නෝ පවා “ගුරුතුමෙනි, ඔබ හොඳින් කතා කළේය” කියා පිළිගන්නවා.
යේසුස් සද්දුසිවරුන්ව නිහඬ කළ බව දකින විට පරිසිවරුන් එකතු වී ඔහු වෙතට පැමිණෙනවා. ඔහුව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඔවුන් සමඟ සිටින ලියන්නෙක් අසනවා, “ගුරුතුමෙනි, නීතියේ උතුම්ම ආඥාව කොයි එකද” කියා.
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “පළමුවැන්න නම් මේය, ‘ඊශ්‍රායෙලය, සවන් දෙන්න. අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’ දෙවැන්න නම් මේය, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ඔබ ප්‍රේම කරන්න.’ මේවාට වඩා උතුම් ආඥාවක් නැත.” යේසුස් තවදුරටත් පවසන්නේ මේ ආකාරයටයි. “මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී.”
ලියන්නා එකඟ වෙමින් මෙසේ පවසනවා. “ගුරුතුමෙනි, ‘ඔහු එක් කෙනෙක්මය, ඔහු හැර තව කිසිවෙක් නැත’ යයි ඔබ මැනවින් කීවේය. එය සත්‍යයට එකඟය. තවද, ඔහුට මුළු හදවතින්ද, මුළු බුද්ධියෙන්ද මුළු ශක්තියෙන්ද ප්‍රේම කිරීම සහ තමන්ට මෙන් තම අසල්වාසියාට ප්‍රේම කිරීම යන මේ දේ, මුළු දවන පූජා සියල්ලට සහ යාගවලට වඩා වටින්නේය.”
ලියන්නා නැණවත් ලෙස උත්තර දුන් බව වටහාගනිමින් යේසුස් පවසන්නේ, “ඔබ දෙවිගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහිය” කියායි.
යේසුස් ඉරිදා, සඳුදා හා අඟහරුවාදා යන දවස් තුන පුරාම දේවමාලිගාවේ උගන්වා තිබෙනවා. මිනිසුන් ඔහුට කන් දී තිබෙන්නේ මහත් උනන්දුවෙනුයි. එහෙත් ආගමික නායකයන්ට වුවමනා වන්නේ ඔහුව මරණයට පත් කරන්නයි. මේ දක්වා ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල වී තිබෙනවා. මතෙව් 22:15-40; මාක් 12:13-34; ලූක් 20:20-40; NW.
▪ යේසුස්ව හසු කරගැනීමට පරිසිවරුන් කුමන්ත්‍රණය කරන්නේ කොහොමද? ඔහු ඔව් හෝ නැහැ කියා පිළිතුරු දුන්නොත් කුමක් සිදු වනු ඇද්ද?
▪ තමාව හසු කරගැනීමට සද්දුසිවරුන් දරන ප්රයත්නය යේසුස් නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද?
▪ පරිසිවරුන් යේසුස්ව පරීක්ෂා කිරීමට තවදුරටත් උත්සාහ කරන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද?
▪ යේසුස් යෙරුසලමේ අන්තිම වතාවට කරන සේවයේදී, දවස් කීයක් දේවමාලිගාවේ ඉගැන්නුවාද? කිනම් බලපෑමක් ඇතුවද?