84වෙනි පරිච්ඡේදය
ගෝලයෙකු වීම හා බැඳි වගකීම
පෙනෙන ආකාරයට සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙකු මෙන්ම පරිසිවරුන්ගේ පාලකයෙකු වන මේ තැනැත්තාගේ නිවසෙන් පිට වී යෑමෙන් පසු, යේසුස් යෙරුසලම වෙතට යන ගමන යළි අරඹනවා. ඔහු පිටුපසින් ගමන් කරනවා මහත් ජනකායක්. ඔවුන්ගේ චේතනාවන් මොනවාද? ඔහුගේ සැබෑ ගෝලයෙකු වීමෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද?
ඔවුන් ගමන් කරන අතරතුරේදී, යේසුස් සමූහයා වෙතට හැරී පවසන මේ දෙයින් ඔවුන් සමහරවිට තිගැස්සෙන්න ඇති. “මා වෙතට එන තැනැත්තා තම පියාටත්, මවටත්, බිරිඳටත්, දරුවන්ටත්, සහෝදරයන්ටත්, සහෝදරියන්ටත්, එසේය, තම ජීවිතයට පවා වෛර නොකරන්නේ නම්, ඔහුට මාගේ ගෝලයා වන්න නුපුළුවන.”
යේසුස් මෙයින් අදහස් කරන්නේ කුමක්ද? තම ගෝලයන් ඔවුන්ගේ ඥාතීන්ට වචනාර්ථයෙන්ම වෛර කළ යුතු බවක් නොවෙයි. ඒ වෙනුවට, ඒ අයට වෛර කළ යුතුයි කීමෙන් ඔහු අදහස් කරන්නේ ඒ අයට වඩා යේසුස්ට ප්‍රේම කළ යුතු බවයි. යේසුස්ගේ ආදි පියෙකු වූ යාකොබ්, ලෙයාට “වෛර” [NW] කර, රාඛෙල්ට ප්‍රේම කළ බව සඳහන් වෙනවා. ඉන් අදහස් කළේ ලෙයාට වඩා ඇගේ සහෝදරි වූ රාඛෙල්ට ඔහු ප්‍රේම කළ බවයි.
ගෝලයෙකු “තම ජීවිතයට පවා” වෛර කළ යුතුයයි යේසුස් පැවසූ බවත් සැලකිල්ලට ගන්න. නැවතත්, යේසුස් අදහස් කළේ සැබෑ ගෝලයෙකු තමාගේම ජීවිතයට වඩා ඔහුට ප්‍රේම කළ යුතු බවයි. ඉතිං, යේසුස් මෙමගින් කාවද්දමින් සිටින්නේ තම ගෝලයෙකු වීම බරපතළ වගකීමක් කියායි. එය, ආවාට ගියාට ගත යුතු තීරණයක් නොවෙයි.
යේසුස් තවදුරටත් අඟවන පරිදි, තම ගෝලයෙකු වීමේදී දුෂ්කරතා හා පීඩාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඔහු එය පවසන්නේ මෙසේයි. “තම වධකණුව උසුලාගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ගෝලයා වන්න නුපුළුවන.” මෙසේ, යේසුස් අද්දුටු ආකාරයටම නින්දා විඳීමට සැබෑ ගෝලයෙකු සූදානම් විය යුතුයි. ඒ වගේම, වැඩි කල් නොගොස් යේසුස්ට සිදු වන පරිදි දෙවිගේ සතුරන් අතින් මරණය විඳින්න සිදු වේ නම්, ඒ සඳහාත් ඔවුන් සූදානම් විය යුතුයි.
එමනිසා, ක්‍රිස්තුස් පිටුපස ගමන් කරමින් සිටින සමූහයා ඔහුගේ ගෝලයෙකු වීමේ කාරණය ඉතා බැරෑරුම්ව සලකා බැලිය යුතුයි. යේසුස් මෙම කාරණය උපමාවක් යොදාගනිමින් මෙසේ අවධාරණය කරනවා. “උදාහරණයක් වශයෙන්, ඔබ අතරෙන් කෙනෙක් ටැඹක් ගොඩනඟන්න අදහස් කරයි නම්, එය සම්පූර්ණ කිරීමට හැකිදැයි බැලීමට පළමුකොට ඉඳගෙන, එහි වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ නොකළොත්, ඔහු එහි අත්තිවාරම දැමුවත් ඔහුට එය සම්පූර්ණ කිරීමට නොහැකි වන්නේය. එවිට, බලා සිටින සියල්ලෝම ඔහුට සමච්චල් කරන්න පටන්ගෙන, ‘මොහු ගොඩනඟන්න පටන්ගත් නමුත් මොහුට නිම කරන්න නොහැකි විය’ යි කියති.”
මනුෂ්‍යයෙකු ටැඹක් ගොඩනැඟීමට කලින් එය නිම කිරීමට තමාට සම්පත් තිබෙන බවට සහතික කරගන්නා සේම, ඔහු පිටුපසින් ගමන් කරන සමූහයාද ඔහුගේ ගෝලයන් වීමට කලින් ඊට ඇතුළත් වන දෑ ඉටු කිරීමට තමන්ට හැකි බවට සහතික කරගත යුතුයි. යේසුස් තවත් උපමාවක් ගෙනහැර දක්වමින් මෙසේ පවසනවා.
“නැතහොත්, ඕනෑම රජෙකු වෙන රජෙකුට විරුද්ධව යුද්ධයට යෑමට පෙර පළමුවෙන් ඉඳගෙන, තම හේවායන් දසදහස සමඟ ගොස්, තමන්ට විරුද්ධව හේවායන් විසිදහසක් සමඟ එන තැනැත්තාට මුහුණ දෙන්න හැකිදැයි බැලීමට උපදෙස් ගන්නේ නැද්ද? සැබවින්ම ඔහුට එසේ කළ නොහැකි නම්, ඔහු, ඒ රජු දුර සිටියදීම, තානාපතීන් පිරිසක් යවා සමාදානය ඉල්ලා සිටින්නේය.”
ඉන් අනතුරුව, යේසුස් තම උපමාවල අර්ථය කාවද්දමින් මෙසේ පවසනවා. “එබැවින්, ඔබ අතරෙන් තමන් සන්තක සියල්ලෙන් සමු නොගන්නා කිසිවෙකුට මාගේ ගෝලයා වන්න කිසිසේත් නොහැක.” ඔහු පිටුපසින් ගමන් කරන සමූහයා වගේම ක්‍රිස්තුස් ගැන ඉගෙනගන්නාවූ අන් සෑම කෙනෙකුම එසේ කිරීමට සූදානම් විය යුතුයි. ඔවුන් ඔහුගේ ගෝලයන් වීමට කැමති නම්, තමන්ට තිබෙන සෑම දෙයක්ම, එනම් තම ජීවිතයද තමන් සන්තක සියල්ලද පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටිය යුතුයි. ඔබ එසේ කිරීමට සූදානම්ද?
“ලුණු හොඳ බව නිසැකය” කියා යේසුස් තවදුරටත් පවසනවා. යේසුස් තම කන්ද උඩ දේශනයේදී, “ඔබ පොළොවේ ලුණුය” කියා තම ගෝලයන්ට පවසා තිබුණා. එයින් අදහස් කරන්නේ සංරක්ෂිත ද්‍රව්‍යයක් වන ලුණු හා සමාන බලපෑමක් ඔවුන් මනුෂ්‍යයන් කෙරෙහි ඇති කරන බවයි. “නමුත් ලුණුවල පවා ලුණු ගතිය නැති වුණොත්, ඊට රස කවන්නේ කුමකින්ද? එය පසට එකතු කරන්නවත් පොහොරට එකතු කරන්නවත් සුදුසු නැත. එය පිටතට විසි කරනු ලැබේ. සවන් දීමට කන් ඇත්තා සවන් දේවා” යනුවෙන් පවසමින් යේසුස් අවසන් කරනවා.
ඉතිං යේසුස් පෙන්වමින් සිටින්නේ, යම් කාලයක් පුරා ඔහුගේ ගෝලයන් වී සිටින අය පවා දිගටම එසේ වී සිටීමට ගෙන ඇති අධිෂ්ඨානය දුර්වල වීමට ඉඩ නොදිය යුතු බවයි. එසේ කළොත්, ඔවුන් වැදගැම්මකට නැති මෙන්ම ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක් වන තත්වයකට පත් වේවි. තවද, ඔවුන් දෙවි ඉදිරියෙහි නුසුදුසු තත්වයකට පත් වෙනවා විතරක් නොව දෙවිව නින්දාවට පත් කරන පුද්ගලයන් බවටද පත් වෙනවා. ඒ නිසා, රසය නැති දූෂ්‍ය වූ ලුණු මෙන්, ඔවුන්ව පිටතට විසි කරනු ලබනවා. ඉන් අදහස් කරන්නේ ඔවුන්ව විනාශ කරනු ලබන බවයි. ලූක් 14:25-35, NW; උත්පත්ති 29:30-33; මතෙව් 5:13, NW.
▪ කෙනෙකු තම ඥාතීන්ට හා තමාටම ‘වෛර කිරීමෙන්’ අදහස් කරන්නේ කුමක්ද?
▪ යේසුස් පවසන උපමා දෙක කවරේද? ඒවායින් අදහස් කරන්නේ කුමක්ද?
▪ ලුණු පිළිබඳව යේසුස් අවසානයට පැවසූ දෙයෙහි අර්ථය කුමක්ද?