68වෙනි පරිච්ඡේදය
සත්වන දවසේදී තවදුරටත් ඉගැන්වීම
කූඩාරම් මංගල්‍යයේ අන්තිම දවස වන සත්වන දවස තවමත් අවසන් වී නැහැ. දේවමාලිගාවේ ‘භාණ්ඩාගාරය’ යනුවෙන් නම් කර තිබෙන කොටසෙහි යේසුස් උගන්වමින් සිටිනවා. පෙනෙන ආකාරයට, මෙය තිබෙන්නේ ස්ත්රීන්ගේ මළුව ලෙස හඳුන්වන කොටසේයි. එහි මුදල් බඳුන් තබා තිබෙන අතර ජනයා සම්මාදම් දැමීමට යන්නේ එතැනටයි.
මංගල්‍යය සඳහා විශේෂයෙන්ම දේවමාලිගාවේ මෙම කොටසෙහි සෑම රාත්‍රියකදීම පහන් දල්වා තිබෙනවා. යෝධ පහන් රුක් සතරක් මෙහි තබා තිබෙන අතර ඒ සෑම එකකම තෙල් පුරවන ලද විශාල භාජන සතරක් තිබෙනවා. තෙල් ඇති භාජන 16ක දැල්වෙන මෙම පහන්වලින් නිකුත් වන ආලෝකය රාත්රියේදී සෑහෙන දුරකට විහිදෙමින් දසත ආලෝකවත් කිරීමට තරම් ප්‍රබලයි. සමහරවිට, යේසුස් දැන් පවසන දෙයින්, පහන් රුක්වලින් නික්මෙන එම ආලෝකය ඔහුගේ සවන්දෙන්නන්ට සිහිගැන්වෙනවා ඇති. “ලෝකයේ ආලෝකය මමය. මා අනුව එන්නා කිසිසේත් අන්ධකාරයේ ඇවිදින්නේ නැත. ඔහුට ජීවනයේ ආලෝකය ලැබෙනවා ඇත” කියා යේසුස් ප්‍රකාශ කරනවා.
එයට පරිසිවරුන් විරෝධය පළ කරන්නේ මෙහෙමයි. “ඔබ ඔබ ගැනම සාක්ෂි දරන්නෙහිය. ඔබ දෙන සාක්ෂිය සැබෑ නොවේ.”
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “මා ගැනම මා සාක්ෂි දැරුවත් මා දෙන සාක්ෂිය සැබෑය. මන්ද මා ආවේ කොතැනින්ද කියාත්, යන්නේ කොතැනටද කියාත් මම දනිමි. එහෙත් ඔබ, මා ආවේ කොතැනින්ද කියාවත්, යන්නේ කොතැනටද කියාවත් නොදන්නහුය.” ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මම මා ගැනම සාක්ෂි දරන්නන්ගෙන් කෙනෙක්මි. මාව එවූ පියාණන්ද මා ගැන සාක්ෂි දරන්නේය.”
“ඔබේ පියා සිටින්නේ කොහේද” කියා පරිසිවරුන් අසනවා.
එයට යේසුස් දෙන පිළිතුර මෙයයි. “ඔබ මාවවත් මාගේ පියාණන්වවත් හඳුනන්නේ නැත. ඔබ මාව හඳුනාගෙන සිටියා නම්, මාගේ පියාණන්වද හඳුනනවා ඇත.” පරිසිවරුන්ට තවමත් යේසුස්ව අත්අඩංගුවට ගන්න වුවමනාව තිබුණත් කිසිවෙකු ඔහුට අත ගසන්නේ නැහැ.
“මම පිටත්ව යන්නෙමි” කියා යේසුස් නැවතත් පවසනවා. “මා යන තැනට ඔබට එන්න නොහැකිය.”
එවිට යුදෙව්වරුන් කල්පනා කරන්න පටන්ගන්නේ මෙහෙමයි. “‘මා යන තැනට ඔබට එන්න නොහැකිය’ යි මොහු කියන්නේ සියදිවි නසාගන්න යන නිසාවත්ද?”
යේසුස් දැන් මෙසේ පැහැදිලි කරයි. “ඔබ පහළ තැන්වලින් වන්නහුය. මම ඉහළ තැන්වලින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් වන්නහුය. මම මේ ලෝකයෙන් නොවන්නෙමි.” ඉන්පසු ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මා ඒ තැනැත්තා බව ඔබ විශ්වාස නොකළොත්, ඔබ ඔබේ පාපවල මැරෙනවා ඇත.”
ඇත්තවශයෙන්ම යේසුස් සඳහන් කරමින් සිටින්නේ මනුෂ්‍යයෙකු වීමට පෙර ඔහුගේ ජීවිතය ගැන හා ඔහු පොරොන්දු කරන ලද මෙසියස් හෙවත් ක්‍රිස්තුස්ය යන කාරණය ගැනයි. එහෙත් “ඔබ කවුද” කියා ඔවුන් නිසැකවම අසන්නේ අපහාසාත්මක ආකාරයකින් විය යුතුයි.
ඔවුන්ගේ විරෝධතා මධ්‍යයේ යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “මට ඔබත් සමඟ කතා කරන්න කිසිම හේතුවක් ඇද්ද?” එහෙත් ඔහු තවදුරටත් මෙසේද පවසනවා. “මාව එවූ තැනැත්තා සැබෑ බව සත්‍යයකි. එමෙන්ම, මම ඔහුගෙන් ඇසූ දේවල්ම ලෝකයේදී කතා කරන්නෙමි.” යේසුස් තවදුරටත් පවසන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයාව එසවූ කල, මා ඔහුම බවත්, මා මාගේම අදහසකට අනුව කිසිවක් නොකර, පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියන බවත් ඔබ දැනගන්නවා ඇත. තවද, මාව එවූ තැනැත්තා මා සමඟ සිටින්නේය. මා සැමවිටම ඔහුට ප්‍රසන්න දේවල් කරන හෙයින් ඔහු මා තනි වෙන්න නොහැරියේය.”
යේසුස් මෙම දේවල් පවසද්දී, බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තබනවා. මොවුන්ට ඔහු පවසන්නේ මෙයයි. “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.”
එවිට ඔහුගේ විරුද්ධවාදීන්, “අපි ආබ්‍රහම්ගේ දරුවෝය. අප කිසි කලක කිසි කෙනෙකුගේ දාසයන්ව සිටියේ නැත. ‘ඔබ නිදහස් වන්නහුය’ කියා ඔබ කියන්නේ කෙසේද” යනුවෙන් අසනවා.
යුදෙව්වන් බොහෝ වර විදේශීය ආධිපත්‍යයට යටත්ව සිටියත් ඔවුන් තමන්ව පීඩාවට පත් කරන කිසි පාලකයෙකුව ස්වාමියෙක් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් තමන්ව දාසයන් ලෙස හඳුන්වනවාට අකමැතියි. එහෙත් ඔවුන් ඇත්තටම දාසයන් බව යේසුස් පෙන්නුම් කරනවා. කිනම් ආකාරයෙන්ද? “සැබවින්ම මම ඔබට කියමි, පව් කරන සෑම කෙනෙක්ම පාපයේ දාසයෙකි” යනුවෙන් යේසුස් පැහැදිලි කර දෙනවා.
පාපයට තමන් දාසයන්ව සිටින බව පිළිගන්නේ නැති නිසා යුදෙව්වරුන් සිටින්නේ අනතුරුදායක තත්වයකයි. යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “දාසයා සදහටම නිවසෙහි නැවතී සිටින්නේ නැත. පුත්‍රයා නම් සදහටම නැවතී සිටින්නේය.” දාසයෙකුට කිසිම දෙයකට උරුමකම් කීමේ අයිතිය නැති නිසා ඔහුව ඕනෑම වෙලාවක නිවසෙන් පිටමං කළ හැකි අවදානම් තත්වයක සිටිනවා වෙන්න පුළුවන්. “සදහටම” එනම්, ජීවිතාන්තය දක්වාම නිවසෙහි සිටින්නේ එහි උපන් දරුවා හෝ දරුකමට හදාගන්න ගත් දරුවා පමණයි.
“එබැවින්, පුත්‍රයා ඔබව නිදහස් කරන්නේ නම්, ඔබ සැබවින්ම නිදහස් වනු ඇත” යනුවෙන් යේසුස් තවදුරටත් පවසනවා. එබැවින් මනුෂ්‍යයන්ව නිදහස් කරන සත්‍යය වන්නේ, පුත්‍රයා පිළිබඳ එනම් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යයයි. මරණයෙන් කෙළවර වන පාපයෙන් කෙනෙකුව නිදහස් කළ හැක්කේ යේසුස්ගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයේ පූජාව මාර්ගයෙන් පමණයි. යොහන් 8:12-36, NW.
▪ සත්වන දිනයේදී යේසුස් උගන්වන්නේ කුමන ස්ථානයේ සිටද? රාත්රියේදී එහි සිදු වන්නේ කුමක්ද? මෙය යේසුස්ගේ ඉගැන්වීම්වලට සම්බන්ධ වන්නේ කෙසේද?
▪ තම මූලාරම්භය ගැන යේසුස් පවසන්නේ කුමක්ද? මෙමගින් ඔහුගේ අනන්‍යතාව ගැන කුමක් හෙළි කරයිද?
▪ යුදෙව්වරුන් දාසයන් වන්නේ කිනම් අර්ථයකින්ද? නමුත් ඔවුන්ව නිදහස් කරන්නේ කුමන සත්‍යයද?