62වෙනි පරිච්ඡේදය
යටහත් පහත්කම පිළිබඳ පාඩමක්
සිසේරිය ෆිලිප්පිය අසල ප්‍රදේශයකදී භූතාවේශ වී සිටි දරුවාව සුව කිරීමෙන් පසු, යේසුස්ට ආපසු නිවස බලා කපර්ණවුමට යන්න අවශ්‍යයි. එහෙත් යේසුස් කැමති වන්නේ ඔහුගේ ගෝලයන් සමඟ තනිව ගමන් කිරීමටයි. මන්ද එවිට, ඔහුගේ මරණය සඳහාත් ඉන්පසු ඔවුන්ට පැවරෙන වගකීම්වලටත් ඔවුන්ව තවදුරටත් සූදානම් කිරීමට ඔහුට අවස්ථාවක් සැලසෙනවා. යේසුස් ඔවුන්ට පැහැදිලි කරන්නේ මෙලෙසයි. “මනුෂ්‍ය පුත්‍රයාව මිනිසුන් අතට පාවා දෙනු ලබන්නේය. ඔවුහු ඔහුව මරණයට පත් කරන්නෝය. ඔහුව මරනු ලැබුවත්, දවස් තුනකින් ඔහු නැඟිටින්නේය.”
යේසුස් මේ පිළිබඳව කලින් කතා කර තිබෙනවා. එමෙන්ම ප්‍රේරිතයන් තිදෙනෙක් යේසුස් අන් ස්වරූපයක් වීම ඇස් දෙකෙන්ම දැක තිබූ අතර ඒ අවස්ථාවේදී ඔහුගේ “නික්ම යෑම” ගැන සාකච්ඡා කර තිබුණා. එහෙත් ඔහුගේ අනුගාමිකයන්ට මේ කාරණය සම්බන්ධයෙන් තවමත් අවබෝධයක් නැහැ. පේතෘස් කලින් කළ පරිදි ඔහුව මරණයට පත් කරන බව කිසිවෙක් ප්‍රතික්ෂේප කිරීමට වෑයම් නොකළත්, ඒ ගැන තවදුරටත් ප්‍රශ්න කිරීමට ඔවුන් භයයි.
අන්තිමේදී ඔවුන් කපර්ණවුමට පැමිණෙනවා. එම නගරය යේසුස් තම සේවය කරගෙන යෑමට යොදාගන්නා මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම, එය පේතෘස්ගේ හා වෙනත් ප්‍රේරිතයන් කීපදෙනෙකුගේම උපන් ගමයි. එහිදී, දේවමාලිගා බද්ද එකතු කරන අය පේතෘස් වෙතට එනවා. සමහරවිට, යේසුස් යම් පිළිගත් සම්ප්රදායක් කඩ කරන බව පෙන්වීමට වෑයම් කරමින් ඔවුන් මෙසේ අසනවා ඇති. “ඔබේ ගුරුතුමා [දේවමාලිගාව සඳහා] ඩ්‍රැක්මා දෙක ගෙවන්නේ නැද්ද?”
“ගෙවන්නේය” යනුවෙන් පේතෘස් පිළිතුරු දෙනවා.
යේසුස් සමහරවිට එතැනට පැමිණෙන්නේ ඉන් මද වේලාවකට පසුව වෙන්නට ඇති. ඔහු සිදු වූයේ කුමක්ද කියා දන්නවා. ඉතිං පේතෘස් ඒ පිළිබඳව සඳහන් කරන්නවත් කලින් යේසුස් මෙසේ අසනවා. “සීමොන්, ඔබ හිතන්නේ කුමක්ද? පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නැත්නම් අන්‍යයන්ගෙන්ද?”
“අන්‍යයන්ගෙන්” කියා පේතෘස් පිළිතුරු දෙනවා.
“එසේ නම්, පුත්‍රයන් බදු ගෙවීමෙන් නිදහස්” කියා යේසුස් පවසනවා. යේසුස්ගේ පියා විශ්වයේ රජු වන නිසාත්, දේවමාලිගාවේ නමස්කාරය ලබන තැනැත්තා වන නිසාත්, දෙවිගේ පුත්‍රයා දේවමාලිගා බද්ද ගෙවීමට ඇත්තෙන්ම නීත්‍යනුකූලව බැඳී නැහැ. “නමුත් අප ඔවුන්ව බාධාවට පත් නොකරන පිණිස, ඔබ මුහුදට ගොස් බිලී බා, පළමුවෙන්ම මතු වෙන මාළුවා ගන්න. ඔබ උගේ කට අරින විට ස්ටේටර් [ඩ්‍රැක්මා සතරක් වටිනා] කාසියක් ඔබට සම්බ වන්නේය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්න” යනුවෙන් යේසුස් පවසනවා.
ගෝලයන් ආපසු කපර්ණවුමට ගොස් එක්රැස් වෙන්නේ සමහරවිට පේතෘස්ගේ නිවසේ වෙන්න ඇති. එහිදී, “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද” කියා ඔවුන් යේසුස්ගෙන් අසනවා. සිසේරිය ෆිලිප්පියේ සිට ආපසු එන ගමනේදී යේසුස් තමා පිටුපසින් ගමන් කරමින් සිටි ගෝලයන් අතර සිදු වූ කතාබහ ගැන හොඳින් දැන සිටියා. ඉතිං ඔවුන් මෙම ප්රශ්නය ඇසීමට හේතුව මොකක්ද කියා ඔහු දන්නවා. ඒ නිසා, ඔහු මෙසේ අසනවා. “ඔබ මඟදී වාද කළේ කුමක් ගැනද?” ඔවුන් වාද කර තිබුණේ තමන් අතරෙහි වඩා උතුම් වන්නේ කවුද කියායි. ඒ නිසා ගෝලයන් ලජ්ජාවට පත් වී නිහඬව සිටිනවා.
වසර තුනක පමණ කාලයක් පුරා යේසුස්ගේ ඉගැන්වීම් අසා තිබියදීත් ගෝලයන් එලෙස වාද කිරීම පුදුමයක් කියා ඔබ සිතනවාද? ඇත්තෙන්ම එයින් හෙළි වන්නේ මිනිස් අසම්පූර්ණත්වයේ මෙන්ම එම ආගමික පසුබිමේ බලපෑම කොතරම් ප්‍රබලද යන්නයි. ගෝලයන් හැදී වැඩුණු යුදෙව් ආගමික පසුබිම තුළ සෑම කාරණයකදීම අවධානය යොමු කළේ නිලයට හෝ තනතුරටයි. එමෙන්ම පේතෘස්ට රාජ්‍යයේ “යතුරු” ලැබෙන්න යන බව යේසුස් පොරොන්දු වී තිබුණ නිසා, අනිත් අයට වඩා තමා උතුම් කියා ඔහුට හැඟුණා විය හැකියි. යේසුස් අන් ස්වරූපයක් වීම දැකීමේ වරප්‍රසාදය ලබා තිබූ නිසා, සමහරවිට යාකොබ්ට සහ යොහන්ට පවා එලෙස හැඟෙන්න ඇති.
හේතුව කුමක් වුවත්, ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා යේසුස් හැඟීම් දනවනසුලු නිරූපණයක් ඉදිරිපත් කරනවා. ඔහු දරුවෙකුව අඬ ගසා ඔවුන් අතරේ සිටුවනවා. ඉන්පසු දරුවාව තුරුළු කරගෙන ඔහු මෙසේ පවසනවා. “ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින්, කවුරු නමුත් මේ කුඩා දරුවා මෙන් යටහත් වනවා නම්, ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේය. තවද, යමෙකු මෙවැනි කුඩා දරුවෙකුව මාගේ නාමයෙන් පිළිගන්නවා නම්, ඔහු මාවද පිළිගන්නේය.”
මෙය තම ගෝලයන්ගේ වැරදි ආකල්ප හරිගැස්වීමට මොන තරම් කදිම ක්රමයක්ද! යේසුස් ඔවුන් සමඟ කේන්තියෙන් ක්‍රියා කරමින් ඔවුන්ව අහංකාර, කෑදර හෝ අභිලාෂකාමී පුද්ගලයන් ලෙස හංවඩු ගහන්නේ නැහැ. ඒ වෙනුවට, යේසුස් හික්මවීම සපයන ඔහුගේ ඉගැන්වීම් නිදර්ශනය කිරීම සඳහා සාමාන්‍යයෙන් තනතුරු ගැන තැකීමක් නැති, සහජයෙන්ම නිහතමානි හා අභිලාෂකාමිත්වයෙන් තොර කුඩා දරුවන්ගේ ආදර්ශය යොදාගන්නවා. මෙලෙස යේසුස් පෙන්වා දෙන්නේ තම ගෝලයන්, යටහත් පහත් දරුවන් සතු ගුණාංග වර්ධනය කරගැනීමට අවශ්‍ය බවයි. යේසුස් එම පාඩම උගන්වා අවසන් කරන්නේ මෙසේ කියමිනුයි. “ඔබ සියල්ලන් අතරේ, සුළු තැනැත්තෙකු මෙන් හැසිරෙන්නා උතුම් තැනැත්තා වන්නේය.” මතෙව් 17:22-27; 18:1-5; මාක් 9:30-37; ලූක් 9:43-48; NW.
▪ කපර්ණවුමට ආපසු පැමිණෙද්දී, යේසුස් නැවත වරක් උගන්වන්නේ කුමක් ගැනද? එයට ලැබෙන්නේ කුමනාකාරයේ ප්රතිචාරයක්ද?
▪ දේවමාලිගා බද්ද ගෙවීමට යේසුස් බැඳී නැත්තේ ඇයි? නමුත් ඔහු එය ගෙවන්නේ ඇයි?
▪ ගෝලයන්ගේ වාදයට සමහරවිට හේතු වන්ට ඇත්තේ කුමක්ද? යේසුස් ඔවුන්ව නිවැරදි කරන්නේ කොහොමද?