53වෙනි පරිච්ඡේදය
මනුෂ්‍යයන්ට වඩා බලවත් කදිම පාලකයෙක්
යේසුස් ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කන්න දෙන විට ජනයා පුදුමයට පත් වෙනවා. ඔවුන් පවසන්නේ “සැබවින්ම මොහු ලෝකයට එන්න සිටි අනාගතවක්තෘවරයා” කියායි. ඔවුන් නිගමනය කරන්නේ, මෝසෙස්ට වඩා උතුම් එම අනාගතවක්තෘවරයා යේසුස් බවයි. ඒ පමණක්ද නොව, ඔහු ඉතා කදිම පාලකයෙකු වන බවත් ඔවුන්ගේ විශ්වාසයයි. ඒ නිසා, ඔවුන් සැලසුම් කරන්නේ ඔහුව අල්ලා රජු බවට පත් කරන්නයි.
එහෙත් යේසුස් දන්නවා මිනිසුන් කරන්න යන්නේ කුමක්ද කියා. ඒ නිසා බලෙන් ඔහුව රජු බවට පත් කරන්න පෙර ඔහු ඉක්මනට එතැනින් පිට වී යනවා. ඔහු සමූහයා විසුරුවාහරින අතර බෝට්ටුවට නැඟී ආපසු කපර්ණවුමට යන මෙන් ගෝලයන්ට උපදෙස් දෙනවා. ඊළඟට ඔහු යාච්ඤා කරන පිණිස කන්දට නඟිනවා. යේසුස් එම රාත්‍රිය එහි ගත කරන්නේ තනිවමයි.
හිරු උදාවට පෙර යේසුස් උස් කන්දේ සිට මුහුද දෙස බලා සිටිද්දී ඔහු දකිනවා සැඩ සුළඟකින් කැලඹුණු මුහුද රළ ගසන අයුරු. පාස්කු දිනේ ළඟ නිසා පුර සඳ පායන්න ළංව තිබෙනවා. ඒ නිසා යේසුස් සඳ එළියෙන් දකිනවා තම ගෝලයන් දරුණු රළ මැදින් බෝට්ටුව ගෙන යෑමට පොරබදන ආකාරය. ඔවුන් හබල් ගාන්නේ තම මුළු වැර යොදමිනුයි.
මෙය දකින විට යේසුස් කන්දෙන් බැස රළ පෙළ හරහා බෝට්ටුව වෙතට ඇවිදගෙන යනවා. යේසුස් බෝට්ටුව වෙතට ළඟා වන විට එය කිලෝමීටර් පහක් හෝ හයක් පමණ ඈතට ගිහින්. එහෙත් ඔහු එය පසු කර යන්නාක් මෙන් දිගටම ඇවිදගෙන යනවා. ගෝලයන් ඔහුව දකින විට භය වී “ඒ අවතාරයක්” කියා කෑගසනවා.
යේසුස් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් මෙසේ පවසනවා. “මේ මමය. භය නොවන්න.”
එහෙත් පේතෘස් පවසන්නේ, “ස්වාමිනි, ඒ ඔබ නම්, වතුර මත ඔබ වෙතට එන්න මට අණ කරන්න” කියායි.
“එන්න!” යනුවෙන් යේසුස් පිළිතුරු දෙනවා.
ඉන්පසු පේතෘස් බෝට්ටුවෙන් වතුරට බැස යේසුස් වෙතට ඇවිදගෙන යනවා. එහෙත් පේතෘස් කුණාටුව දෙස බලා බිය වී ගිලෙන්න පටන්ගන්නවා. ඔහු “ස්වාමිනි, මාව ගලවාගන්න!” කියා කෑගසනවා.
යේසුස් විගස තම අත දිගු කොට ඔහුව අල්ලාගෙන මෙසේ පවසනවා. “ඇදහිල්ල හීන තැනැත්ත, ඔබ තුළ සැකයක් ඇතිවීමට ඉඩ දුන්නේ මන්ද?”
පේතෘස් හා යේසුස් බෝට්ටුවට ගොඩ වූ විට, සුළඟ නවතින නිසා ගෝලයෝ මවිතයට පත් වෙනවා. නමුත් ඔවුන් ඇත්තටම පුදුම විය යුතුද? මීට පැය කීපයකට කලින් රොටි පහකින් හා කුඩා මසුන් දෙදෙනෙකුගෙන් පමණක් ඔහු දහස් ගණනකට කන්න දී තිබුණා. යේසුස් සිදු කළ මෙම මහත් ප්රාතිහාර්යය අගය කරමින් “රොටිවල අරුත” වටහාගත්තා නම්, ඔහුට ජලය මත ඇවිදීමට හා කුණාටුව නිශ්චල කිරීමට හැකිවීම ගැන ඔවුන් එතරම් පුදුම වන්නේ නැහැ. එහෙත් දැන් ගෝලයන් යේසුස් ඉදිරියෙහි වැඳ වැටී, “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයා” කියා පවසනවා.
ඉන් කෙටි වේලාවකට පසු ඔවුන්, කපර්ණවුමට නුදුරින් පිහිටි ලස්සන මෙන්ම සාරවත් වූ තැනිතලාවක් වන ගෙනසරෙත්වලට පැමිණෙනවා. එහිදී ඔවුන් බෝට්ටුව නැංගුරම්ලා ගොඩ බසිනවා. එවිට, මනුෂ්‍යයන් ඔහුව හැඳිනගෙන යාබද නගරයට ගිහින් රෝගාතුරව සිටින අයව සොයනවා. ඔවුන්ව යහන් මත තබාගෙන එන අතර යේසුස්ගේ සළුවේ දාරය ඇල්ලූ පමණින්ම ඔවුන් මුළුමනින්ම සුවය ලබනවා.
මේ අතරතුරේදී, ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කන්න දුන් ආකාරය දුටු සමූහයා දකිනවා යේසුස් එතැනින් පිට වී ඇති බව. ඉතිං, ටයිබීරියස් සිට කුඩා බෝට්ටු පැමිණෙන විට ඔවුන් ඒවායේ නැඟ යේසුස්ව සොයා කපර්ණවුමට යනවා. යේසුස්ව සම්බ වන විට ඔවුන් මෙසේ අසනවා. “රබ්බි, ඔබ මෙහි ආවේ කොයි වෙලාවේද?” අප ඊළඟට කියවන්න යන පරිදි යේසුස් ඒ අවස්ථාවේදී ඔවුන්ට තරවටු කරනවා. යොහන් 6:14-25; මතෙව් 14:22-36; මාක් 6:45-56; NW.
▪ යේසුස් ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කන්න දුන් පසු ඔහුට කුමක් කරන්නද මිනිසුන් කැමති වන්නේ?
▪ යේසුස් තනිව සිටීම සඳහා කන්දට ගොස් සිටිද්දී ඔහු දකින්නේ කුමක්ද? එවිට ඔහු කරන්නේ කුමක්ද?
▪ මේ දේවල් දැකීමෙන් ගෝලයන් එතරම් පුදුම නොවිය යුත්තේ ඇයි?
▪ ඔවුන් වෙරළට පැමිණීමෙන් පසු සිදු වන්නේ කුමක්ද?