45වෙනි පරිච්ඡේදය
අනපේක්ෂිත ගෝලයෙක්
යේසුස් ගොඩ බසින විට දකින්න ලැබෙන්නේ මොන තරම් බියකරු දසුනක්ද! ළඟපාත සුසාන භූමියක සිට ඉතා දරුණු මිනිසුන් දෙදෙනෙක් ඔහු වෙතට දිව එනවා. ඔවුන් භූතාවේශ වූ මනුෂ්‍යයන්. වැඩි අවධානයක් යොමු වන්නේ ඔවුන්ගෙන් එක් කෙනෙකු වෙතටයි. සමහරවිට එයට හේතුව, ඔහු අනිත් කෙනාට වඩා දරුණු වීමත් භූත බලපෑම යටතේ වැඩි කලක් දුක් විඳ තිබීමත් විය හැකියි.
බොහෝ කලක් පුරා මේ අසරණ මනුෂ්‍යයා සොහොන් ගෙවල් අතර ගැවසෙමින් නිර්වස්ත්‍රව ජීවත් වී තිබෙනවා. ඔහු දිවා රෑ දෙකේම තොරතෝංචියක් නැතුව මොරගසමින්, තමාවම ගල් පතුරුවලින් කපාගනිමිනුයි සිටින්නේ. ඔහු කොතරම් දරුණුද කියනවා නම්, කිසි කෙනෙකුට එම මාර්ගය පසු කර යෑමට තරම් නිර්භීතකමක් නැහැ. ඔහුව බැඳ තැබීමට කොතෙකුත් උත්සාහයන් ගෙන තිබුණත්, ඔහු දම්වැල් කඩා දමන අතර ඔහුගේ පාදවල විලංගු බිඳ දමනවා. ඔහුව මෙල්ල කිරීමට කාටවත් ශක්තිය නැහැ.
එම මිනිසා යේසුස් වෙතට පිවිස යේසුස්ගේ පාද ළඟ වැටෙද්දී, ඔහුව පාලනය කරන භූතයන් ඔහුව මොරගැසීමට පොලඹවනවා. “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්, ඔබ හා මා අතර මොන ගනු දෙනුවක්ද? මට වධ නොදෙන මෙන් දෙවිගේ නාමයෙන් මම ඔබව දිවුරුවමි.”
“අපවිත්‍ර ආත්මය, මේ මිනිසාගෙන් පිටත්ව එව” කියා යේසුස් නැවත නැවතත් පවසනවා. එහෙත් යේසුස්, “ඔබේ නම කුමක්ද?” කියා ඉන්පසු අසනවා.
ඔහුගේ පිළිතුර වන්නේ මෙයයි. “මගේ නම සේනාංකයය. මන්ද අපි බොහෝදෙනෙක් වෙමු.” තමන් ආවේශ වී සිටින අයගේ දුක් වේදනා දැකීමෙන් ඉමහත් සතුටක් ලබන භූතයන්, බියගුලු ස්වභාවයකින් ඔවුන්ට විරුද්ධව කල්ලි ගැසී වධ හිංසා කිරීම තුළින් මහත් ආස්වාදයක් ලබන බව පෙනෙන්න තිබෙනවා. එහෙත් යේසුස් ඔවුන් ඉදිරියේ පෙනී සිටින විට ඔවුන් ඉතා බැගෑපත්ව අයැදින්නේ ඔවුන්ව පාතාලයට නොයවන ලෙසයි. යේසුස්ට මහත් බලයක් තිබෙන බව නැවතත් අපේ අවධානයට ලක් වෙනවා. කුරිරු භූතයන්ව පවා පරාජය කිරීමට ඔහුට පුළුවන් වුණා. අවසානයේදී, ඔවුන්ගේ නායකයා වන සාතන් නමැති යක්ෂයා සමඟ ඔවුන්වත් පාතාලයට හෙළීම ඔවුන් සඳහා දෙවිගේ විනිශ්චය බව භූතයන් දැන සිටින බවත් මෙමගින් හෙළි වෙනවා.
ඒ අසල කන්දක ඌරන් 2,000කින් පමණ යුත් රැළක් උළා කමින් සිටිනවා. ඉතිං භූතයන් පවසන්නේ, “අප ඌරන්ට වැහෙන පිණිස, ඔවුන් තුළට අපව යවන්න” කියායි. පොළොවේ වෙසෙන ජීවින්ගේ ශරීරවලට ආවේශ වීමෙන් භූතයන් යම් අස්වාභාවික මෙන්ම කුරිරු සතුටක් ලබන බව පැහැදිලියි. ඌරන්ට වැහීමට යේසුස් ඔවුන්ට අවසර දෙන විට, ඌරන් දෙදහසම කුලප්පු වී වේගයෙන් දුව ගොස් ප්‍රපාතයෙන් මුහුදට වැටී මිය යනවා.
ඌරන්ව රැකබලා ගන්න අය මෙය දැක, දුව ගොස් නුවර වැසියන්ටයි ගම්වැසියන්ටයි ඒ ගැන දැනුම් දෙනවා. ඊට පස්සේ, මිනිසුන් එතැනට පැමිණෙනවා සිදු වූ දේ බැලීමට. ඔවුන් එතැනට පැමිණෙන විට භූතයන් ආවේශ වී සිටිය මනුෂ්‍යයාව දකිනවා. ඔවුන්ව පුදුමයෙන් පුදුමයට පත් කරමින්, ඔහු දැන් සිටින්නේ වස්ත්‍ර ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් යුතුව යේසුස්ගේ පාමුල වාඩි වෙලයි!
එම සිද්ධිය සියැසින් දුටු අය මේ මිනිසා සුව වූ ආකාරය විස්තර කරනවා. ඌරන් පුදුමසහගත ලෙස මැරුණු ආකාරය ගැනත් ඔවුන් ජනයාට කියනවා. මෙය අසන ජනයා අතිශයින් භය වී, යේසුස්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ තම ප්‍රදේශයෙන් පිට වී යන ලෙසයි. ඉතිං ඔහු ඊට එකඟ වී බෝට්ටුවට නඟිනවා. කලින් භූතාවේශව සිටි මිනිසා, යේසුස්ගෙන් අයැද සිටිනවා ඔහු සමඟ ඒමට තමාට ඉඩ දෙන්න කියා. එහෙත් යේසුස් ඔහුට මෙසේ පවසනවා. “ගෙදර ගොස්, යෙහෝවා ඔබ වෙනුවෙන් කර තිබෙන සියල්ල ගැනද ඔහු ඔබට දැක්වූ දයාව ගැනද ඔබේ නෑදෑයන්ට පවසන්න.”
සාමාන්‍යයෙන් යේසුස් තමා සුව කරන අයට ඒ ගැන කිසිවෙකුට නොකියන ලෙස උපදෙස් දෙන්නේ, හැඟීම් දනවනසුලු වාර්තා පදනම් කරගෙන මිනිසුන් අනවශ්‍ය නිගමනවලට එළඹෙනවාට ඔහු කැමති නැති නිසයි. එහෙත් මේ අවස්ථාවේදී, යේසුස් වෙනස්ව කටයුතු කිරීම උචිතයි. මන්ද කලින් භූතාවේශව සිටි මිනිසා එතැන රැඳී සිටීමෙන්, යේසුස්ට සාක්ෂි දැරීමට සමහරවිට ප්‍රස්තාවක් නොලැබෙන මනුෂ්‍යයන් වෙතට එළඹී සාක්ෂි දැරීමට ඔහුට පුළුවන් වන නිසයි. ඒ වගේම, ඔහු එහි රැඳී සිටීමෙන් යහපත් දේවල් කිරීමට යේසුස්ට ඇති බලය ගැන සාක්ෂියක් සැපයෙන අතර, ඌරන් මිය යෑම නිසා පැතිර යා හැකි අහිතකර කට කතාවලට හොඳ පිළිතුරක්ද සැපයේ.
කලින් භූතාවේශව සිටි තැනැත්තා යේසුස්ගේ උපදෙසට කීකරු වෙමින් එතැනින් පිටත්ව යනවා. යේසුස් තමා වෙනුවෙන් කළ සියල්ල ඔහු දෙකපොලිසය පුරාම ප්‍රකාශ කිරීමට පටන්ගන්නවා. මිනිසුන් එය අසා පුදුමයට පත් වෙනවා. මතෙව් 8:28-34; මාක් 5:1-20; ලූක් 8:26-39; NW; එළිදරව් 20:1-3.
▪ භූතාවේශ වූ මිනිසුන් දෙදෙනෙක් සිටියත්, එක් කෙනෙක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හේතුව කුමක් විය හැකිද?
▪ අනාගතයේදී තමන්ව පාතාලයට දමනවා කියා භූතයන් දන්නා බව පෙනෙන්නේ කුමකින්ද?
▪ පෙනෙන ආකාරයට, මනුෂ්‍යයන්ට හා සතුන්ට ආවේශ වීමට භූතයන් කැමැත්තක් දක්වන්නේ ඇයි?
▪ තමා සාමාන්‍යයෙන් ක්‍රියා කරන ආකාරයට වෙනස්ව, තමා ඔහු වෙනුවෙන් කළ දේවල් අන්‍යයන්ට පවසන මෙන් කලින් භූතාවේශව සිටි මනුෂ්‍යයාට යේසුස් උපදෙස් දෙන්නේ ඇයි?