42වෙනි පරිච්ඡේදය
යේසුස් පරිසිවරුන්ට තරවටු කරයි
ඔහු භූතයන්ව පලවාහරින්නේ සාතන්ගේ බලයෙන් නම්, සාතන් තමන්ටම විරුද්ධව භේද වී සිටින බව යේසුස් තර්ක කරනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “ගස හොඳ නම් පල හොඳය. ගස නරක නම් පල නරකය. ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ.”
යේසුස් භූතයන්ව පලවාහැරීම වැනි හොඳ පල උපදවා තිබෙන්නේ සාතන්ට සේවය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි කියා චෝදනා කිරීම මෝඩකමක්. පල හොඳ නම් ගහ නරක වෙන්න බැහැ. අනික් අතට, කිසිම පදනමක් නැතුව යේසුස්ට විරුද්ධවාදිකම් පාමින් අසාධාරණ ලෙස ඔහුට චෝදනා එල්ල කිරීම නමැති නරක පල තුළින්, නරක අය වන්නේ තමන් කියා පරිසිවරුන් ඔප්පු කර තිබෙනවා. යේසුස් ඉතා ආවේගාත්මකව ඔවුන්ව අමතන්නේ මෙසේයි. “පොළොං වංශය, ඔබ දුෂ්ටව සිටියදී හොඳ දේ කතා කරන්නේ කෙසේද? මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.”
අපගේ වචනවලින් අපගේ හෘද තත්වය පිළිබිඹු වන නිසා අප පවසන දෙයින් අපව විනිශ්චය කිරීම සඳහා පදනමක් සැපයෙනවා. යේසුස් මෙසේ පවසයි. “මිනිසුන් කියන සෑම නිෂ්ප්රයෝජන දෙයක් ගැනම ඔවුන් විනිශ්චය දවසේදී ගණන් දිය යුතුයයි මම ඔබට කියමි. මන්ද ඔබ පවසන දේ අනුව ඔබ ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබේ. එමෙන්ම ඔබ පවසන දේ අනුව ඔබ වරදකරුවෙකු බවට පත් වනු ඇත.”
යේසුස් කොතරම් බලවත් ක්‍රියා සිදු කර ඇතත්, “ගුරුතුමෙනි, ඔබගෙන් ලකුණක් දකින්ට අපට ඕනෑ” කියා ලියන්නන් සහ පරිසිවරුන් කියා සිටිනවා. යෙරුසලමෙන් පැමිණි මෙම මනුෂ්‍යයන් පෞද්ගලිකවම ඔහුගේ ප්රාතිහාර්යයන් නොදැක තිබුණා විය හැකි වුණත්, ඒවා පිළිබඳව බිඳ හෙළිය නොහැකි ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. ඒ නිසා යේසුස් යුදෙව් නායකයන්ට පවසන්නේ මෙසේයි. “දුෂ්ට, ද්‍රෝහි පරම්පරාවක් දිගින් දිගටම ලකුණක් සොයයි. නමුත් අනාගතවක්තෘ යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලැබේ.”
තමා අදහස් කරන දෙය පහදා දෙමින්, යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “යෝනා මහා මත්ස්‍යයාගේ උදරයෙහි දහවල් තුනක්ද රෑ තුනක්ද සිටියාක් මෙන්, මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබෙහි දහවල් තුනක්ද රෑ තුනක්ද සිටිනවා ඇත.” මත්ස්‍යයා විසින් ගිල දමනු ලැබුවාට පසු, යෝනා ඉවතට පැමිණියේ නැවත නැඟිටුවනු ලැබුවා හා සමානවයි. ඉතිං යේසුස් මෙහිදී තමා මිය යන බවටත්, දින තුනකට පසුව නැවත නැඟිටුවනු ලබන බවටත් අනාවැකියක් පළ කරමිනුයි සිටින්නේ. එහෙත් යේසුස්ව නැවත නැඟිටුවනු ලැබූ පසුත් යුදෙව් නායකයන් “යෝනාගේ ලකුණ” ප්‍රතික්ෂේප කරනවා.
ඒ නිසා, විනිශ්චය දවසේදී, යෝනා දේශනා කළ පසු පසුතැවිලි වූ නිනිවයේ වැසියන් නැඟිට යේසුස්ව ප්‍රතික්ෂේප කළ යුදෙව්වරුන්ව වරදට පත් කරන බව යේසුස් පවසනවා. සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පොළොවේ කෙළවරේ සිට පැමිණ, තමන් ඇසූ දුටු දෙයින් මවිතයට පත් වූ ෂෙබායේ බිසව සමඟද සැසඳීමක් කරමින් ඔහු පවසන්නේ මෙසේයි. “නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.”
ඊළඟට යේසුස් කියා දෙන්නේ අපිරිසිදු ආත්මයක් තමන් කෙරෙන් ඉවත් වී යන මනුෂ්‍යයෙකු පිළිබඳ උපමාවක් ගැනයි. එම මනුෂ්‍යයා තම මනස හිස් කරගෙන තිබුණත් එය යහපත් දේවලින් පුරවාගත්තේ නැහැ. ඒ නිසා, තවත් දුෂ්ට ආත්මයන් සත්දෙනෙක් ඔහුට ආවේශ වෙනවා. යේසුස් පවසන පරිදි, “මේ දුෂ්ට පරම්පරාවටත් එසේම වනවා ඇත.” අපිරිසිදු ආත්මය තාවකාලිකව පිට වී ගියා හා සමානව, ඊශ්‍රායෙල් ජාතිය ශෝධන කිරීම්වලටත් යළි සකස් කිරීම්වලටත් මුහුණ දී තිබෙනවා. එහෙත්, දෙවිගේ අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා හා එහි අවසන් ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තුස්ට විරුද්ධව කටයුතු කළ නිසා එම ජාතිය පෙරට වඩා දුෂ්ට තත්වයකට පත් වී ඇති බව පැහැදිලියි.
යේසුස් කතා කරමින් සිටිද්දී, ඔහුගේ මව සහ සහෝදරයන් සෙනඟ එක්රැස් වී සිටින තැනට ඇවිත් සිටගන්නවා. එවිට යමෙක් පවසන්නේ මෙසේයි. ‘බලන්න! ඔබේ මවද ඔබේ සහෝදරයෝද ඔබ සමඟ කතා කරන්න සොයමින් පිටත සිටගෙන සිටිති.’
එවිට යේසුස් මෙසේ අසනවා. “මාගේ මව කවුද? මාගේ සහෝදරයන් කවුද?” තම ගෝලයන් වෙතට ඔහුගේ අත දිගු කරමින් ඔහු මෙසේ පවසනවා. “බලන්න! මාගේ මව සහ මාගේ සහෝදරයෝ! මන්ද, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන කවුරු නමුත්, මාගේ සහෝදරයාත්, සහෝදරියත්, මවත් වන්නේය.” තම නෑදෑයන් සමඟ තිබෙන බැඳීම් කොතරම් ශක්තිමත් වුවත් තම ගෝලයන් සමඟ ඊටත් වඩා අනර්ඝ සබඳතාවක් තිබෙන බව යේසුස් මෙලෙස පෙන්වා දෙනවා. මතෙව් 12:33-50; මාක් 3:31-35; ලූක් 8:19-21; NW.
▪ “ගස” සහ එහි “පල” යන දෙකම හොඳ බව පිළිගැනීමට පරිසිවරුන් අසමත් වන්නේ කොහොමද?
▪ “යෝනාගේ ලකුණ” කුමක්ද? එය පසුව ප්‍රතික්ෂේප කරනු ලබන්නේ කෙසේද?
▪ තමා කෙරෙන් අපිරිසිදු ආත්මයක් පිට වී ගිය මනුෂ්‍යයෙකුට පළමු සියවසේ ඊශ්‍රායෙල් ජාතිය සමාන වන්නේ කෙසේද?
▪ තම ගෝලයන් සමඟ තමාට තිබෙන කිට්ටු සබඳතාව යේසුස් කාවද්දන්නේ කෙසේද?